පියාගෙන් පුතුට දෑවැද්දක්

පුතෙකුට පියා විසින් ලබා දිය යුතුම දේවල් 10ක්



දරුවෙකුගේ ජීවිතය මනාව හැඩගැස්වීම කෙරෙහි මවකගේ කාර්යභාරය සුලුපටු නොවුනද, දරුවෙකුගේ ජීවිතය කළ එලි කිරීම උදෙසා පියෙකු විසින් වඩාත් සාර්ථකව ඉටු කල හැකි කාර්යභාරයන් ද වේ. විශේෂයෙන් පුතෙකු ට නම් තම පියාගෙන්ම ලැබිය යුතු යම් යම් මඟ පෙන්වීම් හා ගුරු හරුකම් මේ අතරින් විශේෂ තැනක් ගනී.
එමෙන්ම පිරිමි දරුවෙක් සමාජයට මුදා හැරීමේදී ඔහු අඳුරේ අත පත ගාන්නෙකු වුවහොත් ඔහුගේ ඉදිරි ජීවිතය ද අඳුරේම සැඟව යන්නට ඉඩකඩ වැඩිවේ.
ආදරයෙන් කවා පොවා ඇති දැඩි කල දරුවන්ගේ ජීවිතය දෙමාපියන් ඉදිරියේම සුණුවිසුණු වීමට හෝ කඩා වැටීමට ඉඩනොදීම උදෙසා උපකාරී වන පියෙකු විසින් පුතෙකුට ලබා දිය යුතුම ඔවදන් කිහිපයක් මෙසේ ඔබේ දැනුවත් වීමට.
01. ජය පැරදුම සම සමව
02. කාන්තාවන්ට ගරුත්වයෙන්
03. තනිව තම වැඩ
04. නැවත සටන් කරන්න
05. ආදරය ගැන විවෘත කථා බහක්
06. වෛරය තරහව බැහැරට
07. සෑම දෙයකම හොඳ පමණක්
08. තමාගේම දැක්මකින් ලොව විමසුමට
09. අත්දැකීම් වලින් බහුල දරුවෙක්
10. පිරිමි භවේ උපක්‍රම

01. ජය පැරදුම සම සමව

ලෝකයේ බොහොමයක් ගැටුම්කාරී මෙන්ම අසහනකාරී තත්ව වලට මුල් වන්නේ මේ ජය මෙන්ම පරාජය විඳ දරා ගැනීමට නොහැකි වීම ලෙස දැක්විය හැකියි.
දරුවන්ට තම යහලුවන් හැරුණු කොට සෙල්ලම් කිරීමට හොඳම සහයකයා පියා යි. මෙය දරුවාගේත් පියාගේත් මනා සම්බන්ධතාවයට හේතු වන අතරම, විශේෂයෙන් පිරිමි දරුවෙකු ලෙස ප්‍රගුණ කල යුතුම වන පිහිනීම, බයිසිකල් පැදීම ආදි  කුසලතා වර්ධනය සඳහා අවස්ථාවක් කර ගත හැකියි.
දරුවාට ජයග්‍රහණයේ ආශ්වාදය දැනීමට ඉඩ සලස්වන අතරම ඒ සඳහා තමා විසින් කවරාකාරයේ උත්සාහයක්, කැපවීමක් දැරිය යුතුදැයි තේරුම් ගැනීමට ඉඩ සැලසිය යුතුයි. යම් තරඟ විභාගයකට ඉදිරිපත් වීමට ඒ වෙනුවෙන් පෙර සූදානමක් අවශ්‍ය බව, අරමුණ සඳහා කැපවිය යුතු බව දරුවා මෙයින් ඉගෙන ගනු ඇත.

එමෙන්ම, මෙහි විරුද්ධ දිශාව එනම් සෑම තරඟයකදීම ජය මෙන්ම පරාජය ලැබීමටද අවස්ථාවක් ඇති බව දරුවාට වටහා දීමට පියා විසින් කටයුතු කලයුතුය. දරුවාට අසාර්ථක වීමකින් නැවත නැඟී සිටීමට, පරාජයකදී මනසින් නොවැටී සිටීමට අත්දැකීම් ඔස්සේ ඉගැන්වීම වඩා සාර්ථක වේ. පරාජය යනු සෑම විටම වැලැක්විය හැක්කක් නොවන බවත් පරාජය වීම යනු ලැජ්ජාවට කරුණක් නොවන බවත් දරුවාගේ මනස තුල කුඩා කල සිට ස්ථාපනය වීම ඔහුගේ අනාගත ජීවිතයට මහත් රුකුලක් වනු නිසැකය.


02. කාන්තාවන්ට ගරුත්වයෙන්

කාන්තාවන්ට ගරු කටයුතු ලෙස සැලකීමට තම පුතු හට ඉගැන්වීම මවකටද කල හැකි නමුත් පියාට එය වඩාත් සාර්ථකවත් ආදර්ශමත් ලෙස ක්‍රියාවෙන්ම පෙන්වා දිය හැකියි. දරුවෙකු මහත්මයෙකු බවට පත් කිරීමට නම් කාන්තාවන්ට නිසි ලෙස සැලකීම අතයාවශ්‍ය වේ.
මේ සඳහා පියාට පහත සඳහන් දේ උපයෝගී කර ගත හැකියි.

- මවගේ උපන් දිනයට දරුවන් සමඟ එක්ව විශේෂ යමක් කිරීම - ත්‍යාගයක්/සිහිවටනයක්/මල් කලඹක් ලබා දීම
- මව් වරුන්ගේ දිනයට, කාන්තා දිනයට මවට විශේෂ සත්කාරක්
- වෙළඳ සැල්, සාප්පු සංකීර්ණ, මගතොටේ දී හමුවන කාන්තාවන්ට ආචාරශීලී ලෙස කතා කිරීම හා දරුවන්ටද එසේ හැසිරීමට අවවාද ලබා දීම.

03. තනිව තම වැඩ

තම මව, සොයුරිය, මිත්තණිය හෝ රැකබලාගන්නිය ආදි වූ කාන්තාවන් ගෙන් බොහෝ ආදර, සැලකුම්, ප්‍රමුඛතාවයකින් යුතුව ලැබෙන පිරිමි දරුවෙකු, අනාගතයේදී සමාජයෙන්ද එලෙසම සැලකිලි, ප්‍රමුඛතා බලාපොරොත්තු වීම නිතැතින්ම සිදුවන්නකි. නමුත් බාහිර සමාජය ඔහු එසේත් නැත්නම් පිරිමියා යන චරිතයට ලබා දී තිබිය හැක්කේ එයින් හාත්පසින්ම වෙනස් වූ සංකල්පයක්. කාන්තාවන්ටද සමතැන ලබා දෙන වර්තමාන සමාජයේ නම් එය වඩාත් තීව්‍ර බව කිව හැකියි.
මේ නිසා නිවසේ වැඩකටයුතු වල සිට එදිනෙදා ජීවිතයේදී අවශ්‍ වන සියලුම කාර්යන් කිරීමට පිරිමි දරුවන්ද කුඩා වයසේ සිට හුරු පුරුදු වීම කාලෝචිතය.


04. නැවත සටන් කරන්න.


පරාජයකදී පරාජය භාර ගැනීමට මෙන්ම නොසැලී නැවත උත්සාහ කිරීමටත් දරුවන් උගත යුතුයි. පරාජය වීම නොව අත්හැරීම ලැජ්ජාවට කරුණක් බව ඔවුන්ට වටහා දිය යුතුයි. මේ සඳහා ශක්තිමත් මෙන්ම ඍජු මනසක් තිබීම වැදගත්.
අසාධාරණයකදී තමා වෙනුවෙන් මෙන්ම අන්අය වෙනුවෙන්ද හඬ නැඟීමට දරුවන් පුරුදු පුහුණු කරන්න. පරාර්ථකාමීත්වයේ වැදගත්කම කුඩා කල සිට උගන්වන්න.

05. ආදරය ගැන විවෘත කථා බහක්

බොහෝ දෙමාපියන් ආදරය යනු දරුවන් සමඟ කථාබහ කිරීමට නුසුදුසු නැතහොත් දරුවන් වැඩිහිටියන් බවට පත් වූ පසු කථා කල යුතු මාතෘකාවක් ලෙසයි දකින්නේ. නමුත් ආදරය යනු මව, පියා සහෝදර සහෝදරියන් නෑදෑ හිතමිතුරන් අසල්වාසීන් ගේ සිට ලෝකයේ සියලුම සත්වයන් වෙත දැක්විය යුතු හැඟීමකි.

මේ නිසා දරුවන්ට ආදරය තේරුම් කිරීමට හෝ ආදරය ගැන දරුවන් සමඟ කථා බහ කිරීමට දරුවන් වැඩිමලු වන තුරු සිටීමට අවශ්‍ය නොවේ. ඉතා කුඩා වයසේ සිටම දරුවන් ට ආදරය කිරීමට ආදරය බෙදා දීමට මෙන්ම ආදරයෙන් ලොව දෙස බැලීමට කියා දෙන්න.

06. වෛරය තරහව බැහැරට

ආදරයේ විරුද්ධාර්ථය නම් වෛරයයි. සරලව කිව හොත් තරහව. එයයි දරුවන් හැඳිනගත යුතු නොවන්නේ. එයයි දරුවන්ගෙන් ඈත් කර තැබිය යුතු වන්නේ. වෛරය ලෙස යමක් නැති ලෙසට දරුවන් වර්ධනය වුවද එය සුදුසුය යන්නයි මාගේ පෞද්ගලික මතය නම්.
- දරුවන් ඉදිරියේ වෛරී හා තරහින් පිරි සිතුවිලි සහිත කථාබහෙන් වැලකීම.
- දරුවන් නිතර යහපත් සිතුවිලි වලින් පෝෂණය කිරීම.
- තරහා පාලනයට කුඩා කල සිට දරුවන් පුහුණු කිරීම.
- අන්‍යයන්ට තමන් කෙරෙහි තරහව වෛරය ඇති වන අන්දමට ක්‍රියා නොකිරීමට දරුවන්ට ඉගැන්වීම.

විශේෂයෙන් පිරිමි දරුවන් තුල ඇති වන වෛරයක හෝ තරහක ප්‍රතිඵලය අප සිතීමට වත් අකමැති අවසානයක් වීමට බොහෝ ඉඩකඩ ඇත. එබැවින් කුඩා වයසේ සිට දරුවන් තුල ඇති විය හැකි එවැනි සිතුවිලි පාලනය කර ගැනීමට හා නිවැරදි කර ගැනීමට උපකාර වීමට දෙමාපියන් ලෙස විශේෂයෙන් පියා ලෙස ඔබට බොහෝ භාරධූර වගකීමක් ඇත.

07. සෑම දෙයකම හොඳ පමණක්

දරුවෙක් වැඩෙත්ම අත්දැකීම් ලබත්ම, ආකල්ප හා සිතුවිලි වර්ධනය වීමද නිරායාසයෙන්ම සිදු වේ. ධනාත්මක චින්තනය ලෙස දරුවන් වැඩුණු පසු ඉතා බැරෑරුම් මට්ටමකින් මෙය තේරුම් කිරීමට වඩා කුඩා කල සිටම සෑම දෙයකම හොඳ දැකීමටත් නරක් අවමව දැකීමටත් පුහුණු කිරීම වඩාත් සාර්ථක වනු ඇත.
දෛනික ජීවිතයේදී සිදු වන සුලු දෙයින් වුවද දරුවන්ට මෙය පුරුදු පුහුණු කල හැක.



බිඳුණු මල් පෝච්චියට දරුවාට දඩුවම් කරනු වෙනුවට එය නැවත අලවා සකස් කරන්න උපදෙස් දෙන්න. එයට උදව් වෙන්න. දරුවා ට එයින් ලැබෙන පාඩම ඔබ බැන වැදීමෙන් කිසිවිටෙකත් නොලැබෙන අතරම කඩා වැටීම් බිඳ වැටීම් හමුවේ හැපීමට නොව නැවත නැඟී සිටීමටත්, සෑම සිදුවීමක්ම හොඳ අතට හරවා ගැනීමටත් දරුවා පුරුදු පුහුණු වේවි.

08. තමාගේම දැක්මකින් ලොව විමසුමට

මේ වෙනුවෙන් ඔබ විශේෂයෙන් කල යුතු යමක් නොවේ. ඔහු වෙනුවෙන් සෑම විටම පියා ලෙස ඔබ සිටින බව ඔහුට ප්‍රත්‍යක්ෂ වීම පමණයි අවශ්‍ය වන්නේ. විටින් විට දරුවාත් ඔබත් පමණක් එක්ව කථා බහක නිරත වන්න. දරුවාගේ සිත තුල ඇති දේ නිරායාසයෙන් පිටතට පැමිණෙන අයුරින් කථා කරන්න. විමසන්න. ඔහු සමඟ අදහස් බෙදා ගන්න. ඔහුගෙන් යම් යම් දේ පිළිබඳ අදහස් විමසන්න. නිසැකවම ඔබට වඩා නවීන සම්පන්න වූ ඔහුගේ අදහස් වලට කිසිවිටෙකත් ඍජුව විරුද්ධ නොවන්න. වැරැද්දක් ඇති විට ඔහුටම එය තේරුම් ගත හැකි අයුරින් මඟ පෑදීම පමණක් කරන්න. ඔහුට ආත්ම විශ්වාසයෙන් යුතුව ලොව දැක්මට සවියක් උපකාරයක් වන්න.



දරුවාට අවශ්‍ය කුමන අවස්ථාවකදී වුවත් නැවත හැරී ඔබ වෙත දිව ඒමට හැකි බව පමණක් ඔහුගේ සිතෙහි ධාරණය කරන්න. ආත්මශක්තියකින් හෙබි දරුවෙක් ඉන් නිර්මාණය වෙනවා නිසැකයි.

09. අත්දැකීම් වලින් බහුල දරුවෙක්

දරුවන් ඉගෙන ගන්නේ පොතෙන් පතින් නොවේ. ඔවුන් දකින අසන සෑම දෙයක්ම යමක් ඉගෙනීමට අවස්ථාවක්. එබැවින් කුඩා කල සිටම දරුවන් ට හැකි තරම් අත්දැකීම් ලබා දෙන්න. අනතුරුදායක නොවන සෑම දෙයටම ඉඩ දෙන්න. අලුත් දේ අත්හදාබැලීමට ඉඩ දෙන්න. කිසි විටක "එපා" නොකියන්න වග බලාගන්න. ඒ වෙනුවට පරිස්සමෙන්, කල්පනාවෙන් වැනි අනතුරු ඇඟවීම් හා අවදානය යොමු කිරීම් පමණක් යොදාගන්න.


  • වැලි සමඟ සෙල්ලම්
  • වතුර සමඟ සෙල්ලම්
  • මඩ සමඟ සෙල්ලම්
  • වැස්සේ සෙල්ලම්
ආදියට හැකි විට අවස්ථාව ලබා දෙන්න. ඔබ කුඩා කල මතකයේ රැදී ඇත්තේ එවැනි මතක නම් ඔබේ දරුවාටද අනාගතයේදී එවැනි මිහිරි මතකයන්ට හිමිකම් කීමට අවස්ථාව ලබා දෙන්න.





10. පිරිමි භවේ උපක්‍රම


  • ඇණයක් ගැසීම
  • ගිනි මැලයක් දැල්වීම
  • වාහනයක සුලු නඩත්තු කටයුතු
  • නිවසේ සුලු නඩත්තු කටයුතු - තීන්ත ආලේපය, විදුලි ස්විච/පහන් සවිකිරීම


ආදි වූ පිරිමි පාර්ශවය ස්වභාවයෙන්ම දක්ෂ වූ ක්‍රියාකාරකම් දරුවන්ට ඉගැන්වීම කල හැක්කේ පියාටයි. මෙවැනි අවස්ථාවලදී දරුවන් ඔබත් සමඟ හවුල් කර ගැනීමට කිසි විටකත් අමතක නොකරන්න. ඇතැම් විට දරුවන් සමඟ සුලු කාර්යක් වුවත් කිරීමට බොහෝ වේලාවක් ගත වනු ඇති නමුත් අවසාන ප්‍රතිඵලය ඔබටත් දරුවා ටත් සතුට ගෙන දෙන්නක් වනු නිසැකය.
එලෙසම,
  • ටයි පටියක් ගැට ගැසීම
  • කලිසම් කමිස විලාසිතා


ආදි වූ පිරිමි ඔබටම ආවේණික වූ ලක්ෂණ දරුවාට ලබා දීමත් ඔබේ වගකීමක්. පුතුත් ඔබත් අතර බැඳීම ශක්තිමත් වීමට එය බොහෝ සෙයින් ඉවහල් වනු ඇත.

~මෙහි අන්තර්ගතය මා සතු පෞද්ගලික අත්දැකීම් ද, පොත පත අධ්‍යයනයෙන් හා අන්තර්ජාලය ඇසුරින් මා ලබා ගත් දැනුමද වන අතර, අවශ්‍ය විට සුදුසු වෛද්‍ය උපදෙස් ලබා ගැනීම ඔබ සතුය.~

Tʜɪs ᴀʀᴛɪᴄʟᴇ ɪs ᴡʀɪᴛᴛᴇɴ ᴀɴᴅ ᴄʀᴇᴀᴛᴇᴅ ʙʏ KalSwijesooriya ᴀᴜᴛʜᴏʀ @ KC and Baby K. Rᴇʙᴜʙʟɪsʜɪɴɢ ᴡɪᴛʜ ᴀ Cᴏᴘʏ ᴏʀ Sᴄʀᴇᴇɴsʜᴏᴛs ɪs Nᴏᴛ Aʟʟᴏᴡᴇᴅ. Yᴏᴜ Mᴀʏ Sʜᴀʀᴇ Iɴsᴛᴇᴀᴅ.
Aʟʟ Rɪɢʜᴛs Rᴇsᴇʀᴠᴇᴅ © 2019 KC and Baby K™a

Comments

Popular posts from this blog

පැනයට පිළිතුරු 01 (Problem_Solving)

බබා ට කිරි වැඩිපුර..... More breast milk to ur infant

බුද්ධිමත් දරුවෙක් නිර්මාණය කරමු - Make Ur baby Intelligent