බබාට කෑම(වට්ටෝරු ඇතුලත්) - Baby's 1st foods(including recipes)


                 බබා කෑම කන්න ආරම්භ කලාම අම්මලා ට එන තවත් පොදු ප්‍රශ්නයක් තමා බබාට කන්න දෙන්න සුදුසු, පෝෂදායී වගේම ජීර්ණයට පහසු ආහාර මොනවාද කියන එක. ඒ වගේ ආහාර බොහෝමයක් තිබුනත්, ලොව පුරා බබාලා ට ලබාදිය හැකි පළමු ආහාර ලෙස  ප්‍රචලිත ආහාර කීපයක් ගැනයි අද කතා කරන්නෙ. වෛද්‍යවරුන් හා පෝෂණවේදීන් විසින් මුල් අවධියේ සිටම බබාලාට ලබා දිය හැකි ආහාර ලෙස අනුමත කරන ලද මෙම ආහාර විටමින්, ප්‍රෝටීන්, ඛනිජ ලවණ ආදී බබාගේ නීරෝගීභාවයටත්,1!! මනා වර්ධනයටත් හේතු වන බොහෝ අත්යාවශ්‍ය පෝෂණ සංඝටක වලින් යුක්තය.

(මෙහි සඳහන් ආහාර වට්ටෝරු, බබා ක්‍රමයෙන් වයසින් වැඩෙත්ම ලබා දීමට සුදුසු ආකාරයෙන් සඳහන් වේ)

අලිගැට පේර- Avocado


ලොව පුරා බොහෝමයක් මව්වරුන්, තම දරුවන්ට පළමුවෙන්ම ලබා දෙනු ලබන ආහාරය ලෙස අලිගැට පේර හඳුන්වන්න පුළුවන්. මව්කිරි වල අඩංගු මේද කොටස් වලට බොහෝ සමානකම් දක්වන මේද සංයුතියක් සහිත මෙහි අඩංගු අසංතෘප්ත මේද බබා ගේ මොළයේ වර්ධනයට උපකාරී වෙනවා.

ආහාර වට්ටෝරු සඳහා අදහස්  :

• ඉතා හොඳින් ඉදුනු අලිගැට පේර මදය හොඳින් පොඩිකර
• පොඩි කර ගත් අලිගැට පේර මදයට, යෝගට් එකතු කර
• මදක් පොඩි කර ගත් අලිගැට පේර මදයට, දෙහි ඇඹුල්, යෝගට් හා සිහින්ව කපාගත් කොත්තමල්ලි කොළ එක් කර
• මදක් පොඩි කර ගත් අලිගැට පේර මදයට, යෝගට්, රටඉඳි සිරප් හා කුඩු කර ගත් වියලි ඇට වර්ගයක් සමඟ (ආමන්ඩ්, කජු)

කෙසෙල් - Bananas


ඉතා පහසුවෙන් ආහාර වලට එක් කර ගත හැකි ආහාරයක් වන කෙසෙල් පොටෑසියම්, විටමින් B6, විටමින් C, කැල්සියම් හා යකඩ යන පෝෂණ සංඝටක වලින් අනූනයි.

ආහාර වට්ටෝරු සඳහා අදහස්  :

• ඉතා හොඳින් ඉදුනු කෙසෙල් හොඳින් පොඩිකර
• පොඩි කර ගත් කෙසෙල්, කුඩු කර ගත් වියලි ඇට වර්ගයක් සමඟ (ආමන්ඩ්, කජු)
• පොඩි කර ගත් කෙසෙල්, කුරුඳු කුඩු ස්වල්පයක් හා යෝගට් හොඳින් මිශ්‍ර කර (ස්මූදි එකක් ලෙසත් ලබා දිය හැක)
• ඕට්ස්/හබල පෙති/රුලං වලට පොඩි කර ගත් කෙසෙල් හා රටඉඳි සිරප් එක් කර

පරිප්පු - Lentils
 

රනිල බෝග අතරින් වඩා පහසුවෙන් සකස්කර ගත හැකි ප්‍රෝටීන් බහුල ආහාරයක් වන පරිප්පු වැඩිහිටි අපේ වගේම බබාලාගේ ආහාර වලටත් ඉතා පහසුවෙන් එක් කල හැකි.

ආහාර වට්ටෝරු සඳහා අදහස්  :

• පරිප්පු හොඳින් තම්බා බටර් සමඟ
• පරිප්පු හා කුඩාවට කපාගත් කැරට් හොඳින් තම්බා පොඩි කර බටර් එක් කර
• පරිප්පු හා කුඩු කර ගත් හාල්මැස්සන් හෝ මස්/ මාලු සහල් සමඟ එකට උයා පොඩි කර ඔලිව් තෙල්, ලූණු, සුදු ලූනු සමඟ තෙම්පරාදු කර
• තෝරාගත් එළවලු කීපයක් (අල,කැරට්,බෝංචි,ගෝවා) සමඟ පරිප්පු එකට සුප් ලෙස තම්බා

මාංශ - Meat


ප්‍රෝටීන්, සින්ක් හා යකඩ වලින් අනූන මස් හා මාලු දරුවන් කෑමට හුරු කරන මුල් අවදියේ සිටම බබාලා ට ලබා දීමයි වෛද්‍ය මතය.
දරුවන් මාංශ ඔස්සේ යකඩ අවශෝෂණය කර ගන්නා ප්‍රවනතාවය වඩා වැඩි වීමත් මෙයට එක් හේතුවක්.

ආහාර වට්ටෝරු සඳහා අදහස්  :


• මස් හෝ මාලු අර්තාපල් සමඟ තම්බා බටර් සමඟ
• මස්/මාලු හා සහල් එකට තම්බා, ඔලිව් තෙල් හා ලූණු සමඟ තෙම්පරාදු කර (එළවලු වර්ග ද එක් කල හැක)
• මස් කුඩා කැබලි, තෝරාගත් එළවලු කීපයක් (අල,කැරට්,බෝංචි,ගෝවා) සමඟ සුප් ලෙස තම්බා පොඩි කර
• තම්බා පොඩි කර ගත් මාලු හා අර්තාපල්, ඔලිව් තෙල්, ලූණු, සුදු ලූනු සමඟ තෙම්පරාදු කර

(මේ සියල්ල ටම හැකි නම් ගම්මිරිස් ඉතා ස්වල්පයක් එක් කිරීමෙන් වඩා රසවත් කර ගත හැක)

වට්ටක්කා - Pumpkin


කැරොටින් අඩංගු කහ පැහැති එළවලු අතරින් ජනප්‍රිය ආහාරයක් ලෙස වට්ටක්කා හඳුන්වන්න පුලුවන්. ස්වාභාවික පැණි රසය හා ක්‍රීම් ස්වභාවය නිසා දරුවන්ට පහසුවෙන් ආහාරයට ලබා දිය හැක.

ආහාර වට්ටෝරු සඳහා අදහස්  :

• තම්බා ගත් වට්ටක්කා හොඳින් පොඩි කර බටර් සමඟ
• වට්ටක්කා හා කඩල තම්බා හොඳින් පොඩි කර බටර් සමඟ තෙම්පරාදු කර
• වට්ටක්කා සහල් සමඟ තම්බා,  ඔලිව් තෙල්, ලූණු, සුදු ලූනු, කරපිංචා සමඟ තෙම්පරාදු කර
• තම්බා ගත් වට්ටක්කා, මස්/ මාලු හෝ බිත්තර කහ මදය හොඳින් පොඩි කර

යෝගට් - Yogurt


කැල්සියම් හා විටමින් D අඩංගු කිරි සහිත ආහාරයක් වන යෝගට් දත් හා අස්ථි වල ශක්තිමත් බවට හේතු වෙනවා. බබාට වසරක් වන තුරු දියර කිරි(ගව) දීම අනුමත නොකලද, යෝගට් බබාට මාස 4දී සිටම වුවත් ලබා දිය හැක.

අමතර සිනී අඩංගු නොවන, රසකාරක වලින් තොර, අඩංගු  මුහුං ප්‍රමාණය වැඩි හා සම්පූර්ණ යොදය සහිත යෝගට් එකක් තෝරාගෙන බබාට දීමයි සුදුසු.

හැකි සෑම විටම තවත් ආහාරයක් සමඟ එක් කර යෝගට් ලබා දීමෙන් වැඩි පෝෂණයක් ලැබේ.

ආහාර වට්ටෝරු සඳහා අදහස්  :

• යෝගට් සමඟ පොඩි කර ගත් පළතුරු එක් කර
• කුඩු කර ගත් වියලි ඇට වර්ගයක් සමඟ (ආමන්ඩ්, කජු) යෝගට් එක් කර
• සහල් තැම්බෙන අතරතුර යෝගට් එක් කිරීමෙන් බබාට කිරිබත්
•සාදා ගත් ඕට්ස්/රුලං වලට යෝගට් හා රටඉඳි සිරප් එක් කර

බතල/ කැරට් බතල - Sweet Potato 


ලොව පුරා ළදරුවන්ට ආහාර හඳුන්වාදීමේදී ප්‍රථමයෙන් ලබා දෙන ආහාරයක් වන බතල කැරොටින් වලින් අනූන ගුණදායී අල වර්ගයකි. ස්වාභාවික පැණි රසය හා ක්‍රීම් ස්වභාවය නිසා දරුවන්ට පහසුවෙන් ලබා දිය හැක. කැරොටින් වලට අමතරව විටමින් C, යකඩ, තඹ ඇතුලු ඛනිජ අඩංගු නිසා දරුවන් ගේ ආහාර සඳහා නිතර ලබා දිය හැකි ආහාරයකි. 

ආහාර වට්ටෝරු සඳහා අදහස්  :

• තම්බා ගත් බතල හොඳින් පොඩි කර බටර් සමඟ 
• තම්බා පොඩි කර ගත් බතල, හා පරිප්පු කරපිංචා බටර් සමඟ තෙම්පරාදු කර
• තම්බා පොඩි කල බතල, චීස් හා කුඩු කර ගත් වියලි ඇට වර්ගයක් සමඟ
• හාල් සමඟ බතල, මාලු, ගම්මිරිස් කුඩු යොදා තම්බා පොඩි කර

සහල් - Rice


අපේ රටේ ප්‍රධාන ආහාරය ලෙස, ළදරුවන්ටත් ආහාර ආරම්භය සිදු කරන්නේ බත් ලබා දීමෙනි. නමුත් නවීන වෛද්‍ය විද්‍යාව අනුව ලොව පුරා පිලිගත් මතයක් වන්නේ පෙර සැකසුමට ලක් කරන ලද හා කුරුටු ඉවත් කරන ලද සහලින් සාදා ගන්නා බත් ගුණයෙන් අඩු බවත් ළදරුවන්ට ලබා දිය යුත්තේ සම්පූර්ණ සහලින් සාදා ගන්නා බත් බවත්ය.

එමනිසා බත් අඩු ප්‍රමාණයක් වෙනත් ගුණදායී එළවලු, ධාන්‍ය, ඇට වර්ග, තද කොළ පැහැ පලා වර්ග හා මාංශ වැඩි ප්‍රමාණයක් සමඟ සකස් කර දීමෙන් බබා ගේ වර්ධනයට අවශ්‍ය පෝෂණය නිසි පරිදි පවත්වා ගත හැක.

ආහාර වට්ටෝරු සඳහා අදහස්  :

• සහල්, කුරුඳු කුඩු ස්වල්පයක් එක් කර ජලයෙන් තැම්බෙන විට චීස්/උකු පොල් කිරි එක් කර කිරිබත් ලෙස (රම්පේ හා අනෙක් සුවඳ වර්ග එක් කිරීමෙන් වඩා රසවත් කර ගත හැක)
• සහල්, පරිප්පු, මස්/ මාලු හා කැමති එළවලු වර්ග එක් කර තම්බා හොඳින් පොඩිකර
• තම්බා ගත් සහල් හා මුං ඇට, වියලි මිදි සමඟ එළඟිතෙල් වලින් තෙම්පරාදු කර හොඳින් පොඩි කර, කුඩු කරන ලද වියලි ඇට වර්ගයක් සමඟ
• සහල්, අර්තාපල් හා මස් වර්ගයක් ගම්මිරිස් එක් කර තම්බා හොඳින් පොඩිකර ලූණු, සුදුලූනු, බටර් සමඟ තෙම්පරාදු කර 

~මෙහි අන්තර්ගතය මා සතු පෞද්ගලික අත්දැකීම් ද, පොත පත අධ්‍යයනයෙන් හා අන්තර්ජාලය ඇසුරින් මා ලබා ගත් දැනුමද වන අතර, අවශ්‍ය විට සුදුසු වෛද්‍ය උපදෙස් ලබා ගැනීම ඔබ සතුය.~

© kalSwijesooriya @ KC & baby K

Comments

Popular posts from this blog

පැනයට පිළිතුරු 01 (Problem_Solving)

බබා ට කිරි වැඩිපුර..... More breast milk to ur infant

බුද්ධිමත් දරුවෙක් නිර්මාණය කරමු - Make Ur baby Intelligent