බබාගේ කාමරය සරසමු Baby Nursary Decor



ලඟදි එන/ආව පුංචි අමුත්තාගේ කාමරය (Baby nursery) තමන් අතින්ම සරසන්න වැඩි වියදමක් නැති, පහසු අදහස් ටිකක් මෙන්න. සකස් කරන ආකාරයත් පියවරින් පියවර දක්වලා තියෙනවා. මෙයින් අදහස් අරන් බබා ගේ කාමරය සරසලා KC and Baby K පිටුවට ඔයාලාගේ photos share කරන්න. 

© kalSwijesooriya @ KC & Baby K

01. සමනලයා~



අවශ්‍ය ද්‍රව්‍ය
•සම චතුරස්‍ර හැඩ, ප්‍රමාණ 2කින්, පාට කඩදාසි 
•ගම් ටේප්
•මල් සැකසුම් සඳහා යොදා ගන්නා කම්බි කැබැල්ලක්

ප්‍රමාණයෙන් විශාල හරි හතරැස් කොලය ගෙන, එහි එක් මුල්ලකින් පටන් ගෙන අවානක් නවන පරිදි අනෙක් විරුද්ධ මුල්ල දක්වා රැලි නවාගන්න(වෙසක් කූඩුවට රැලි කැපීමට නවා ගන්නා ආකාරයෙන්) රූපයේ දක්වා ඇති ආකාරය අනුව අදහසක් ගන්න පුලුවන්. 

 නැමීම ඇරඹූ හා නමා අවසන් කල තැන් එක්වම තබා ගෙන අනෙක් දෙපස රැලි ඈත් කරමින් සමනලයා ගේ ඉහල තටු දෙක සකස් කර ගන්න. එක්ව තබා ගත් මැද ස්ථානය ටේප් ආධාරයෙන් එකට අලවා ගෙන සුරක්ෂිත කර ගන්න. ඉන් පසුව මැද ටේප් දැමූ තැනින් මදක් ඉහලට නැවීමෙන් තටු දෙක ඉහලට සිටින පරිදි සකස් කර ගන්න. 

මේ ආකාරයෙන්ම ප්‍රමාණයෙන් කුඩා හතරැස් කොලය ද නවා ගෙන පහල තටුව නිර්මාණය කර ගන්න. එහිදී මැද ටේප් දැමූ තැනින් නැවීමේදී තටු පහල අතට සිටින පරිදි සකස් කර ගත යුතුයි.



මෙලෙස සාදා ගත් කොටස් දෙක (ඉහල තටු 2 හා පහල තටු 2) ටේප්  දැමූ තැන් එකට තබා නැවත ටේප් දමා සමනලයා සකස් කර ගන්න. මල් සකසන කම්බි යොදාගෙන සමනලයා ගේ ඉහල ඇන්ටනා කොටස් සාදාගන්න.

~02. කඩදාසි අවාන් රවුම්~


අවශ්‍ය ද්‍රව්‍ය
•පාට කඩදාසි 3ක්
•ගම් ටේප්
•ගම්

පාට කඩදාසිය ගෙන දිග හෝ පළල කැමති පැත්තකින් අරඹා, අවානක් නවන පරිදි අනෙක් විරුද්ධ පැත්ත දක්වා රැලි නවාගන්න(වෙසක් කූඩුවට රැලි කැපීමට නවා ගන්නා ආකාරයෙන්) රූපයේ දක්වා ඇති ආකාරය අනුව අදහසක් ගන්න පුලුවන්. ඉන් පසුව, නැවීමෙන් පසු පටියක් ලෙස පෙනෙන එම කඩදාසි කොටසේ හරි මැදින් දෙකට නවා එක් අයිනක් ඔස්සේ ගම් ආලේප කර ත්‍රිකෝණ හැඩ ඇති අවානක් ලෙස සකස් කර ගන්න.

කඩදාසි කොල 3ම මේ ආකාරයෙන් සකස්කර ගන්න.

අවසානයේ, එම ත්‍රිකෝණ කොටස් 3 එකිනෙක අලවා රවුම් හැඩය නිර්මාණය කර ගන්න.

විවිධ වර්ණ, විවිධ ප්‍රමාණ වලින් මේ ආකාරයෙන් සාදා ගත් රවුම් අවාන් හැඩ උපකාරී කර ගෙන විවිධ බිත්ති සැරසිලි නිර්මාණය කර ගන්න පුලුවන්. පින්තූර වලින් අදහසක් ලබා ගන්න.

03. ආදර වැස්ස~




අවශ්‍ය ද්‍රව්‍ය
•විවිධ වර්ණ වලින් කඩදාසි
•කතුරක්
•ගම්
•නූල්
•නිර්මාණය රැඳවීමට ලී කැබැල්ලක් (පටියක්/කෝටුවක්)

විවිධ වර්ණ කඩදාසි වලින් කැමති ප්‍රමාණයක "හදවත් හැඩය" කපා ගන්න. එකක් සඳහා එක් වර්ණයකින් 2 බැඟින් අවශ්‍ය වේ.(එක මත එක ඇලවීමට)

නූල් කැමති දිගකින් ගෙන හදවත් එකක් මත එකක් වන පරිදි නූල හදවත් 2 අතර දිගු අතට හරි මැදින් ඇලවෙන පරිදි නූල මත පමණක් ගම් යොදා අලවා ගන්න. හදවත් හැඩ දෙක මැදින් පමණක් එක්ව තිබෙන පරිදි නවා එකිනෙක ඈත් කර පෙති 4ක් ලෙස සකස් කර ගන්න. මෙසේ වර්ණ වෙනස් කරමින් නූල දිගේ සමාන පරතරයක් සහිතව හදවත් අලවා ගන්න.

එලෙස අවශ්‍ය තරම් නූල් ප්‍රමාණයකින් හදවත් වැල් ලෙස සකස්කර ලී රැදවුම මත පෙලට, පහළ ට එල්ලෙන ලෙස ගැට ගසන්න. රූපයේ පරිදි අදහස් ගෙන නිර්මාණාත්මක ලෙස වෙනස් ආකාර වලින් නිම කර ගන්න.


04. සුළං පෙත්ත~


අවශ්‍ය ද්‍රව්‍ය
•සමචතුරස්‍රාකාර පාට කඩදාසි
•කතුරක්
•ඇල්පෙනති/push pins/drawing pins/bead pins
•ගම් ටේප්
•ලී කෝටුවක්/ලී පටියක්

හරි හතරැස් කඩදාසිය ගෙන එක් මුල්ලකට විරුද්ධ මුල්ල තබා දෙකට මැදින් නවා ගන්න. එලෙසම නැවත වතාවක් නවා ගන්න.
(හතරැස් කොටුව ත්‍රිකෝණාකාර වන ලෙස දෙවරක් නවා ගන්න)
ඉන්පසු නැවුම් සියල්ල දිග හරින්න.

නැවුම් පාර ඔස්සේ එක් මුල්ලක් දෙකට කැපෙන ආකාරයට ඇතුල් අතට මද දුරක් කපා ගන්න. මෙලෙස මුලු 4ම දෙකකට වෙන් වන සේ එක සමාන දුරක් කපා ගන්න. කැපීමෙන් පෙති 8 ක් සෑදිය යුතුය. රූපය මඟින් අදහසක් ලබා ගන්න.


දැන් එක් මුල්ලකින් එක් කැබැල්ලක් වන ලෙස, පෙති එකක් හැර එකක් හරි මැදට නවා ගන්න.(නැවුම් පාරක් ඇති නොවන ලෙස) එවිට පෙති 8න් 4ක් ඇතුල් පැත්තට නැවී ත්, අනෙක් පෙති 4 පිට පැත්තටත් දිග හැරී ත් ඇති ලෙසට පෙනේ. මැදට නවා ගත් පෙති 4හි මුලු 4 එක මත එක පිහිටන සේ සකස් කර, එම පෙති 4 හතරැස් කොටුවේ මැදට සවිවන ලෙස, හරි මැද සිදුරු වන පරිදි ඇල්පෙනිත්ත ඇතුල් කරන්න. එම ඇල්පෙනිත්ත ලී කෝටුවක ගසා ගැනීමෙන් නිර්මාණය එයට සවි කර ගන්න. සුළඟ ට කැරකීමට හැකි වන පරිදි අල්පෙනිත්ත ලිහිල්ව තබන්න.

Comments

  1. මම පෙර පාසල් ගුරුතුමියක් ලෙස මෙය අගය කරමි.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

පැනයට පිළිතුරු 01 (Problem_Solving)

බබා ට කිරි වැඩිපුර..... More breast milk to ur infant

බුද්ධිමත් දරුවෙක් නිර්මාණය කරමු - Make Ur baby Intelligent