පැටියාව ඉක්මනින් දොයි කරමු - Make ur baby Sleepy



       පැටියව නින්දට යවන එක ගොඩක් අම්මලාට එක් විදිහක යුද්ධයක්. බබා කොයි වයසක සිටියත් මේ දේ සිද්ධ වෙන්න පුළුවන්. මෙතනදී තමා අම්මාලාට පොඩ්ඩක් උපක්‍රමශීලි වෙන්න සිද්ධ වෙන්නෙ. බබා ගේ යහපත වෙනුවෙන් ඇතැම් අවස්ථාවලදී දෙමාපියන්ට ටිකක් විතර කපටි වෙන්නත් වෙනවානෙ....

නින්ද කියන්නෙත් බබාලාට වුනත් එක් එක්කෙනාට වෙනස් වෙන සිදුවීමක්. සමහර බබාලා නිදන ප්‍රමාණය ස්වාභාවයෙන්ම අඩු වෙන්නත් තවත් සමහර බබාලා ටිකක් වැඩිපුර නින්දට ප්‍රිය කරනවාත් වෙන්න පුළුවන්. ඒ විදිහට නිදන ප්‍රමාණය වගේම වෙනස් වෙන තවත් බොහෝ දේවල් තියෙනවා.

•නිදන ප්‍රමාණය (පැය ගණන)
•නිදන අවස්ථා (පොඩි වේලාව බැඟින් අවස්ථා වැඩිපුර/දිගු වේලාවක් අඩු අවස්ථා ගණනක්)
•නිදන ඉරියව් (උඩු අතට/මුනින් අතට)
•වැඩිපුර නිදන කාලය(දවල්/රෑ)
•කෙටි නින්ද ප්‍රමාණය
•එක දිගට නිදන ප්‍රමාණය

මේ දේවල් සම්බන්ධයෙන් තමන්ගේ බබාගේ ස්වභාවය තේරුම් ගන්න පුළුවන් අම්මා ට තමයි. ඊට අමතරව බබාට නින්ද ලඟා කර ගැනීමටත් යම් යම් දේ අවශ්‍ය වෙන්න පුළුවන්. ඒ කියන්නේ අම්මා ගෙන් හෝ තාත්තා ගෙන් දොයියන්න පොඩි උදව්වක් ලැබුනොත් බබාලා ට ඉක්මනින් නින්දට යනවා. ඒ උදව් මොනවද කියල දැන ගත්තොත් අම්මාලාට පුළුවන් පහසුවෙන් පැටියාව දොයි කරවන්න. 

ඒ වගේ බබාලා ට දොයියන්න උදව් වෙන දේවල් තමා මේ.....

•හිස සෙමින් පිරිමදින්න.



මේ නම් බබාලාට විතරක් නෙවේ වැඩිහිටි අපි කාටත් ඉක්මනින් නින්ද යන විදිහක්. බබාගේ හිස මෘදුව අත ගාන්න. මගේ අත්දැකීම නම් හිස පිටුපස අතට අතගානවාට වඩා, ඉදිරිපසට අතගෑමෙන් වඩා ඉක්මනින් නින්ද ලඟා වෙනවා. මෙහිදී අතලෙන් මෘදුව ඇස් පියවෙන ලෙස අත ගෙන යන්න.  

•මිහිරිව ගී ගයන්න


දරු නැලවිලි ගී හෝ සුදුසු ළමා ගී තෝරා ගෙන මිහිරිව ඉතා පහත් හඬකින් ගයනා කරන්න. ගායනා හැකියාව නැති වුවත් දරුවකුට ප්‍රියතම හඬ තම මවගේ හඬ බව මතක තබා ගන්න. 

•පිටට/පිටුපසට ඉතා සෙමින් රිද්මයකට තට්ටු කරන්න

බබාගේ පිටුපසට මෘදු ලෙස රිද්මයකට තට්ටු කරන්න. එයින් බබා ට ඉක්මනින් නිදිමත ඇති වෙනවා. බබාට මව් කිරි ලබා දෙන අතරම වුවත්  කරන්න පුළුවන් වගේම බබාව සංසුන් කරන්නත් මෙය යොදා පුළුවන්.

•ඒකාකාරී ශබ්දයක්(White Noise)ඇසීමට සලස්වන්න


මුහුදේ හෝ ශබ්දය වැනි ඒකාකාරී මෘදු ශබ්දයක් නොනවත්වා ඇසෙන්නට සලස්වන්න. මේ සඳහාම පටිගත කරන ලද මෙවැනි ශබ්ද අන්තර් ජාලයෙන් ලබා ගන්නත් පුළුවන්. අධික ශබ්ද හෝ වරින් වර සිදුවන හදිසි ශබ්ද(වාහන වල නලා ශබ්ද වැනි)සහිත වටපිටාවක් තුල දරුවන් නිදි කරවීමට ලොව පුරාම භාවිතා කරන ක්‍රමයත් මෙය වේ. ඒ සඳහාම නිපදවූ විශේෂිත යන්ත්‍රද(Noise machine) වෙළඳපොලෙන් ලබා ගන්න පුලුවන්.

•මෘදු සෙලවීම හා පැද්දීම


දරුවන් සෙලවීමට හා පැද්දීමට කැමතියි. මේ නිසා ඉතාම සියුම් රිද්මයානුකූල සෙලවීමක් හෝ පැද්දීමක් ද ඉක්මන් නින්දකට උදව් කර ගන්න පුලුවන්. නමුත් වේගවත් හා තද සෙලවීම් බබාගේ මොළය වර්ධනයට අහිතකර ලෙස බලපාන්න ඉඩ තිබෙන නිසා කල්පනාකාරීව මෙය සිදු කල යුතුයි.

• "ෂ්....ස්..." ලෙස ශබ්ද කිරීම


දරුවන් නැලවීමේදී නිතැතින් සිදුවන ක්‍රියාවක් වන මෙය දරුවන් නිදි කරවීමට යොදාගත හැකි තවත් එක් සාර්ථක ක්‍රමයකි.  Noice machine වල ආරම්භයට බොහෝවිට මුල් වන්නට ඇත්තේ මෙයයි

•කණ් සෙමින් පිරිමදින්න


නිදිමත වැඩි වූ විට දරුවන් කණ සමඟ සෙල්ලම් කරනවා ඕබ දැක ඇති. නමුත් මෙම ක්‍රියාව දරුවන් නිදි කරවන්නත් යොදාගත හැකි බව ඔබ දන්නවාද? එසේ නම් එයත් උත්සාහ කර බලන්න.

•බෙල්ල පිරිමදින්න


අත්ලෙන් බෙල්ල පිටුපස ඉතා මෘදු ලෙස පිරිමදින්න. වැඩිහිටි අපට වුවත් වෙහෙස නිවන සුලු සම්භාහන ආකාරයක් වන මෙය දරුවන්ට  ඉතා මෘදු පිරිමැදීමක් ලෙස සිදු කල යුතුයි. 

•යටිපතුල් අතගාන්න


වැඩිහිටියන්ගේත් පීඩනය ආතතිය නැති කරන්න යොදාගන්නා සම්භාහන ක්‍රමයක් වන මෙය දරුවන්ට ඉතාමත් මෘදු ලෙස යොදාගන්න පුළුවන්. මව් කිරි ලබා දෙන අතරම ඉතා මෘදුව සෙමින් කකුල් හා යටි පතුල් පිරිමදින්න. බබාට ඉක්මනින් නින්ද යාවි.

•මව් කිරි ලබා දෙන්න


ඕනෑම මවක් සිදුකරන පහසුම වගේම සාර්ථකම ක්‍රමය තමා මේ. බබා ගේ බංඩිය පිරීමත්, මවගේ ආදරය උණුසුමත්, මවගේ හෘද ස්පන්දනය ඇසීමත් යන සියල්ල එක විටම සිදුවීම නිසා බබා වඩාත් පහසුවෙන් නැලවී නින්දට යයි. 

~මෙහි අන්තර්ගතය මා සතු පෞද්ගලික අත්දැකීම් ද, පොත පත අධ්‍යයනයෙන් හා අන්තර්ජාලය ඇසුරින් මා ලබා ගත් දැනුමද වන අතර, අවශ්‍ය විට සුදුසු වෛද්‍ය උපදෙස් ලබා ගැනීම ඔබ සතුය.~

© kalSwijesooriya @ KC & baby K

Comments

Popular posts from this blog

පැනයට පිළිතුරු 01 (Problem_Solving)

බබා ට කිරි වැඩිපුර..... More breast milk to ur infant

බුද්ධිමත් දරුවෙක් නිර්මාණය කරමු - Make Ur baby Intelligent