පැටියා ගේ කෑම රස කරන්නෙ කොහොමද? How to make baby food yummy?



            මාස 6 සම්පූර්ණ වුන අපේ පැටව් කෑම කන්න පටන් ගන්නවා. අම්මලාටත් තවත් වැඩ වැඩි වෙන්නෙ ඒ කාලෙදී තමයි.

•එයාටම පිඟන්, කෝප්ප, හැඳි, වලං, භාජන වෙනම ගන්න ඕනි.
•කන්න දෙන්න තැනක් ලෑස්ති කර ගන්න ඕනි.
•එයා ට කන්න දෙන්න විශේෂ ආහාර වර්ග ලෑස්ති කර ගන්න ඕනි.
•එක එක කෑම හදන විදි හොයා ගන්න ඕනි.

ඉතින් වැඩ වැඩි වෙන එක අහන්නත් දෙයක්ද....

කොහොම හරි ඔය ඔක්කොම කලා කියමුකෝ. දැන් ඉතින් ලොකුම වැඩේ කවා ගන්න එක නේ. දවස් දෙක තුන කොට අපේ පණ්ඩිත රාල ලා......

"එක කටයි ඊට වඩා නම් කන්නෙ නෑම යි...අම්මි...."

කියලා කියනවා.... ඔයාලාට අනිවාර්යයෙන් ඇහිලා ඇති. 😉

දැන් ඉතින් මොනවද කරන්නෙ. 

"කන්නෙ නැත්නම් මොනව කරන්නද?
කට අරින්නෙවත් නැතිව කොහොම කවන්නද?
"ඔන්න ඔහේ කිරි වත් දෙනවා...." 

පැටියාටත් මොකෝ කුක්කු නෙ. බොනවා. බංඩියත් පිරෙනවා. 

ඔන්න ඉතින් බර කිරන දවස........

"බබා ගේ බර නම් අඩු වෙලා අම්මෙ"

ඔන්න අම්මාට කන් වලින් දුම් දාන්න ගන්නේ එතකොට තමයි.
ඒත් අනේ බබා කන්නෙ නෑනේ කොහොම දුන්නත්... ඇත්තනේ කෑම එක රස නෑනේ. ඇයි ඉතින් ලුණු ත් නෑ සීනි ත් නෑ. 

ලුනු, සීනි  තවම  වර්ධනය වෙන බබා ගේ වකුගඩු වලට හොඳ නැහැ. ඒ නිසා අමතර ලුණු සීනි අපි චූටි පැටව් ගේ කෑමට දාන්නෙ නෑ.

එහෙනම් කොහොමද බබා ගේ කෑම රස කරන්නෙ? අපි බලමු රස වගේම ගුණදායී විදිහට බබා ගේ කෑම එක රස කරන විදි.

01. කුඩු කල වියළි ඇට වර්ග.



ආමන්ඩ්-Almond/ කජු-Cashew/ පිස්ටා-Pistachio 
(රට කජු-Peanut ආසාත්මික වීමේ ඉඩ වැඩි නිසා කල්පනාකාරී විය යුතුයි)

මේ ඇට වර්ග සියල්ලම බොහොම ගුණදායී, ඒ වගේම බර වැඩි වීමට උදව් වෙනවා.

*තෝරාගත් ඇට වර්ගය කබලේ බඳින්න. හොඳින් බැදී ගෙන එනකොට ඉමිහිරි  සුවඳක් එනවා. එතකල් බැද්දම ඇති. එහෙමත් නැත්තම් අවන් එකක ආධාරයෙන් බේක් කරලා ගන්නත් පුළුවන්. ඊට පස්සෙ ග්රයින්ඩර් එකක ආධාරයෙන් කුඩු කර ගන්න. පිටි වෙන්නම අවශ්‍ය නෑ. සියුම් කෑලි හිටින්න කුඩු කර ගන්න පුලුවන්. එච්චරයි. ඊට පස්සෙ හොඳට සෝදලා, උණු වතුරේ තම්බලා, ජීවානුහරණය කල, වියලි, වීදුරු බෝතලයකට දාලා සුළං නොවදින්න තියාගන්න. ශීතකරණයේ තියා ගන්න පුලුවන් නම් ගොඩක් හොදයි. වැඩි කාලයක් තියා ගන්නත් පුළුවන්. 

දැන් ඉතින් ගැලපෙන කෑම වර්ග වලට ටිකක් දාලා බබාට කන්න දෙන්න. බබාගේ කෑම එකට අමතර ගුණයක් වගේම, හොඳ රසක් ලැබෙනවා මේකෙන්. 

උදා. ඕට්ස්, හබල පෙති, සීරියල්, රුලං, කිරිබත්

02. රටඉඳි


බබාලා ගේ කෑම එක ගුණදායී ලෙස පැණි රස කරන්න යොදාගන්න පුලුවන් හොඳ ආදේශකයක් තමයි රටඉඳි කියන්නේ. ඒවගේම බබාගේ බර වැඩි වීමටත් හේතු වෙනවා. 

*බබා ගේ කෑම පිසින භාජනයට ඇට ඉවත් කල රටඉඳි හා ජලය ස්වල්පයක් එක් කර ලිප තබන්න. වතුර රත් වන විට ක්‍රමයෙන් රටඉඳි දිය වෙනවා. ඒ විදිහට රටඉඳි හොඳින් දිය වෙලා, වතුර හිඳිලා උකු මිශ්‍රණයක් වුනාම ලිපෙන් ඉවත් කර ගෙන, බබාගේ කෑම මත් ගාන්න යොදාගන්නා පෙරනය ආධාරයෙන් ඉතිරි රටඉඳි කැබලි පොඩි කරමින් මිශ්‍රණය පෙරාගන්න. මේ තමයි රටඉඳි ශිරප්. 

ඊට පස්සෙ හොඳට සෝදලා, උණු වතුරේ තම්බලා, ජීවානුහරණය කල, වියලි, වීදුරු බෝතලයකට දාලා සුළං නොවදින්න තියාගන්න. ශීතකරණයේ තියා ගන්න පුලුවන් නම් ගොඩක් හොදයි. වැඩි කාලයක් තියා ගන්නත් පුළුවන්.

පැණි රස එක් කරන්න අවශ්‍ය ඕනිම කෑමකට මේක එක් කරලා රස  ගන්වන්න පුළුවන්.

ඒ වගේම, බබාගෙ කෑම එක උයන විට දී උනත්, ඇට ඉවත් කල රටඉඳි සමඟ ආහාරය පිස ගැනීමෙන් ද කෑම රස කරන්න පුළුවන්.

උදා. ඕට්ස්, හබල පෙති, සීරියල්, රුලං, කිරිබත් 

03. වියළි මිදි


සාමාන්‍ය භාවිතයේදී වියලි මිදි එක් වර්ගයක් ලෙස ගැනුනද,  සුල්තානා(Sultanas), රේසින්(Raisins), කරන්ට්(Currants) ලෙස  විවිධ වර්ග වල වියළි මිදි වෙළඳපොලෙන් ලබා ගන්න පුලුවන්. මේ වර්ග රසයෙන් වෙනස් වන අතර ගුණයෙන් ද වෙනස් කම් දක්වයි.

* බබාගෙ කෑම එක උයන විට දී මෙම කැමති වියළි මිදි වර්ගයක් එක් කර ආහාරය පිස ගෙන, තැම්බුනු වියළි මිදි ත් සමඟ මත් ගා ගැනීමෙන් බබාගේ කෑම එක වඩාත් රසවත් කර ගන්න පුලුවන්.

පැණි රස වගේම කෑමට ප්‍රිය වන සුලු ඇඹුල් රසකින්ද යුක්ත නිසා බබාට වෙනස්ම රසක් ලෙස දැනේවි.

උදා. ඕට්ස්, හබල පෙති, සීරියල්, රුලං, කිරිබත්

04. යෝගට්


යෝගට් කිව් සැනින් අපට මතක් වෙන්නේ බබා යෝගට් කන්න නම් ආසයි කියලා නෙ. ඉතින් බබා ඒ ආසාවෙන් කන යෝගට් අපට පුලුවන් නිකම්ම කවනවාට වඩා, බබාගේ වෙනත් කෑමකට එක් කරන්න. 

*බබාගෙ කෑම එක කවන විට දී එයට එක් කරන්න වගේම, කෑම එක උයන විටදී ත් යෝගට් එක් කර ආහාරය පිස ගන්නා පුලුවන්. 

05. චීස්


චීස් කියන්නෙත් බබාලා ගොඩක් ප්‍රිය කරන ආහාරයක්. යෝගට් වගේම මෙයත් බබාට නිකම්ම දෙනවාට වඩා, තවත් ප්‍රධාන ආහාරයකට එක් කිරීමෙන් එම ආහාරය රස කිරීම සඳහා යොදා ගන්න පුලුවන්. 

*කිරි එක් කර සාදා ගන්නා ආහාර වලට කිරි වෙනුවට ආදේශකක් ලෙස එක් කරන්න උනත් පුළුවන්.

උදා. කිරිබත්, පැස්ටා

06. බටර්



ඕනෑම ආහාරයකට වෙනස්ම රසයක් එක් කරන බටර් ද බබාගේ බර වැඩි කරන වගේම බබාගේ මේද අවශ්‍යතාවය ද සපුරන ආහාරයක්. 

*බබාගෙ කෑම එක උයන විටදී හෝ කෑම එක කවන විටදී ආහාරයට එක් කරගන්න පුලුවන්. 

උදා. බත්,අල වර්ග

07. කෙසෙල් 


පළතුරක් ලෙස බබාලාට ලබාදීමට වඩාත් ජනප්‍රිය ආහාරයක් වන කෙසෙල් ද බබාලාට නිකම්ම ලබා දෙනවාට වඩා, ඇතැම් ආහාර රස කිරීමට යොදාගන්න පුළුවන්. 

 උදා. හබල පෙති, ඕට්ස්ය, සීරියල්

08. අලිපේර


අප රටේ පළතුරක් ලෙස පමණක් ජනප්‍රිය වුවත් වෙනත් රට වල විවිධාකාරයෙන් ආහාරයට එක් කර ගන්නා රසවත් ගුණවත් ආහාරයක් තමා අලිපේර. බබාලාගේද බර වැඩි කරන ආහාරයක් ලෙස මෙය විවිධ ප්‍රධාන ආහාර රස කිරීම සඳහා යොදා ගන්න පුලුවන්. 

උදා. පාන්, සීරියල්, 

09. තෙල් වර්ග




පිරිසිදු පොල්තෙල්, ඔලිව් තෙල්, තල තෙල්, ගිතෙල් ආදී සියලු තෙල් වර්ග වලින් ආහාර රසවත් කරන්න පුලුවන් වගේම බබාගේ බර වැඩි වීමටත් හේතු වෙනවා.

උදා. තෙම්පරාදු කිරීම.

10. ලූණු වර්ග




ලොකු ලූණු හා සුදු ලූනු ද බබාලාගේ ආහාර රසවත්  කරන්න යොදාගන්න පුලුවන් හොඳ ගුණදායී රසකාරක. 

*ආහාර තෙම්පරාදු කිරීමේදී ඉතාමත් සුළු වශයෙන් භාවිතා කරන්න පුළුවන්. හොඳ සුවඳක් ඇති කිරීමෙන් ආහාර රුචිය වඩයි.

11. කුරුදු/ කුරුදු කුඩු


බබාලා ට කුලුබඩු හඳුන්වා දීමේ මුල් අදියර ලෙස, ඉතා සුළු වශයෙන් යොදාගන්න පුළුවන්.

*ආහාර තෙම්පරාදු කිරීමේදී මෙන්ම ඇතැම් ආහාර පිසීමේදී ත් එක් කරන්න පුළුවන්

උදා. ඕට්ස්, සීරියල්, හබලපෙති

12. කරපිංචා


කරපිංචා, බොහෝ ගුණදායී ආහාරයක් ලෙස වැඩිහිටි අපේ වගේම බබාලාගේත් ආහාර රසවත් කරන්න යොදාගන්න පුලුවන්.

*ආහාර තෙම්පරාදු කිරීමේදී මෙන්ම ආහාර පිසීමේදී ආහාරයට එක් කිරීමෙන් සුවඳක් වගේම වඩා රසයක් ද ලබා දෙයි. 

13. ගම්මිරිස් 


ඇසූ සැනින් බය හිතෙන රසකාරකයක් නේද. නමුත් ඉතාමත් සුළු වශයෙන් බබාගේ ආහාරයට එක් කිරීමෙන් රස වැඩි කරනවා වගේම සැර ආහාර ගැනීමටත් බබාට හුරු කරවනවා.

උදා. බත්, කිරිබත්, අල වර්ග

මේ හැම ආහාරයක්ම බබාට මුල්ම වරට බබාට ලබා දෙන විට, ආසාත්මිකතා පරීක්ෂාව සිදුකිරීමට අම්මලා හොඳින් මතක තබා ගන්න.

~මෙහි අන්තර්ගතය මා සතු පෞද්ගලික අත්දැකීම් ද, පොත පත අධ්‍යයනයෙන් හා අන්තර්ජාලය ඇසුරින් මා ලබා ගත් දැනුමද වන අතර, අවශ්‍ය විට සුදුසු වෛද්‍ය උපදෙස් ලබා ගැනීම ඔබ සතුය.~

© kalSwijesooriya @ KC & baby K


Comments

  1. Wiyali eta warga samanyen auruddak wenakan denna parakku karanawa neda..(kaju/ almond vage.)

    ReplyDelete
  2. බබා ආසාත්මිකතා සඳහා වැඩි නැඹුරුතාවයක් දක්වයි නම් මාස 12 සම්පූර්ණ වූ පසු ලබා දිය හැක. එසේම වියළි ඇට අතරින් ආසාත්මිකතා සඳහා වැඩි වශයෙන්ම හේතු වන රටකජු - peanut සඳහා ආසාත්මිකතා දක්වන පවුල් වල දරුවන් නම් වසරක් සම්පූර්ණ වන තුරු සිටීමයි වඩාත් සුදුසු.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

පැනයට පිළිතුරු 01 (Problem_Solving)

බබා ට කිරි වැඩිපුර..... More breast milk to ur infant

බුද්ධිමත් දරුවෙක් නිර්මාණය කරමු - Make Ur baby Intelligent