මොනවද මේ සෙම?


"අනේ බබාට "සෙම" වැඩි වෙලා මේ බෙහෙත් ටිකක් ගන්න ගියා."

"අයිස් ක්‍රීම් ටිකක් කමු නේද? ෂ්.. ෂ්..  බබා ට නම් ඇහෙන්න කියන්න එපා. එයාට "සෙම". සීතල කෑම දෙන්නෙම නෑ අපි"

"හරි රස්නෙයි. පවු බබා. ඇඟ ටිකක් සේදුවා නම් හොඳයි නේද?.
පිස්සුද හවස් වෙලා පපුව තෙමෙන්න හොඳ නෑ, "සෙම" එයි බබාට"

"බබාට යෝගට්, චීස්, එහෙම වැඩිය දෙන්න එපා "සෙම" එනවා ඕවට"

මොනවද මේ සෙම?


අපි අපේ ජීවිතේ වැඩිපුරම බෙහෙත් අරන් ඇත්තේ මෙන්න මේ කියන "සෙම" ට එහෙම නේද? ඉතින් අපි මේ "සෙම"ට පුදුමාකාර බියක් දක්වනවා වගේම ඒ නිසාම අපේ පැට්ටොන්ට සෙම හැදෙයි කියලා පරිස්සම් කරන්න බොහෝ උත්සාහ කරනවා. 

නාසයෙන් සොටු දියර ගැලීම, නාසය හිර වීම, කැස්ස, කිවිසුම් යාම, උගුර කැසීම, උගුර පැටලීම, හුස්ම ගන්න විට පපුව ඇතුලෙන් ශබ්දයක් නිකුත් වීම, පපුව තද ගතිය, හුස්ම ගැනීමේ අපහසුව, හිසරදය, ආදී සියලු රෝග (රෝග ලක්ෂණ) සඳහා අපි කියන පොදු නම තමා "සෙම". නමුත් බටහිර වෛද්‍ය විද්‍යාව අනුව "සෙම" කියලා රෝගයක් නැහැ. 


සිංහල ආයුර්වේදය අනුව ලෙඩ රෝග වලට ප්‍රධාන හේතු වෙන දේවල් 3කි. ඒ නම් වා, පිත්, සෙම් එහෙමත් නැත්තම් තුන් දොස්. 
මෙන්න මේ සංකල්පය තමයි "සෙම" කියලා රෝගයක් ඇති බවට ලාංකික අපේ මනස ට ඇතුල් වෙලා තියෙන්නෙ. 

මොනවාද මේ සෙම කියලා ඇත්තටම හඳුන්වන්නේ?


මේ "සෙම" කියලා අපි හඳුන්වන්නේ අපේ ස්වසන පද්ධතිය තුල ස්වාභාවික පවතින හා තිබිය යුතු ශ්ලේෂ්මල යි. 

මිනිස් ස්වසන පද්ධතියට යම් විෂබීජ ආකාරයක් ඇතුල් වුනාම එහෙමත් නැත්නම් ආසාදනය වුනාම අපේ ශරීරය ස්වයංක්‍රීයව ඒ ආසාදන කාරකය සමඟ සටන් කරනවා.


එම ක්‍රියාවලියේදී ස්වසන පද්ධතිය තුල පවතින ශ්ලේෂ්මල ප්‍රමාණය  වැඩිවීමක් වෙනවා. මෙන්න මේ අවස්ථාවේදී ශරීරයේ ඇති අධික ශ්ලේෂ්මල ශරීරයෙන් පිටතට එනවා. මේ තමා අප කාටත් හැදෙන සොටු එහෙමත් නැත්තම් අපේ භාෂාවෙන් සෙම. ඒ වගේම සාමාන්‍යයෙන් අවර්ණ වන ශ්ලේෂ්මල ආසාදනය නිසා කහ පැහැයට හෝ කොල පැහැයට හැරෙන්නත් පුළුවන්.


ස්වසන රෝග හා හේතු



ස්වසන පද්ධතියේ එක් එක් කොටස් ආසාදනය වුනාම එක් එක් නම් වලින් ඒ රෝග හඳුන්වනවා.

Ex. සෙම්ප්‍රතිශ්‍යාව, සෙම්ගෙඩි, නිව්මෝනියාව, ක්ෂය රෝගය, බ්‍රොන්කයිටිස්

අපි අවට පරිසරයේ ඇති දූවිලි, පුස්, මල් පරාග, සමහර රසායන ද්‍රව්‍ය, දුම් ආදියට නිරාවරනය වූ විට ඇතැම් අයගේ ස්වසන පද්ධතිය අධික ලෙස සංවේදී වීම නිසාත් කිවිසුම් යාම, සොටු දියර ගැලීම, නාසය හිර වීම, උගුර කැසීම, ඇස් කැසීම ආදි රෝග ලක්ෂණ ඇති වෙනවා.

Ex. පීනස, Asthma, ඇදුම


ඒ වගේම තවත් අයට ශීත දේශගුණ තත්වයන්දීත්, තවත් අයට සමහර ආහාර වර්ග නිසාත් මේ රෝග හා රෝග ලක්ෂණ මතු වෙනවා.  

වෙනත් ස්වසන රෝග හා හේතු.


මීට අමතරව ජාන වලින් ද, ස්වසන පද්ධතියේ සුලු අක්‍රමිකතා/අවහිරතා නිසාත්, මෙම ඇතැම් රෝග ලක්ෂණ දරුවන් ට ඇති වෙන්න පුළුවන්.

ස්වසන පද්ධතිය ආශ්‍රිත පිළිකා තත්ව නිසාත් මේ රෝග ලක්ෂණ පෙන්නුම් කරන්න පුලුවන්. අධික දුම් පානයත්, එවැනි දුමට නිතර නිරාවරණය වීමත් මෙයට හේතු වන බැවින් දරුවන් එවැනි තත්ව වලින් ඈත් කිරීම දෙමාපියන්ගේ වගකීමක්. 


~මෙහි අන්තර්ගතය මා සතු පෞද්ගලික අත්දැකීම් ද, පොත පත අධ්‍යයනයෙන් හා අන්තර්ජාලය ඇසුරින් මා ලබා ගත් දැනුමද වන අතර, අවශ්‍ය විට සුදුසු වෛද්‍ය උපදෙස් ලබා ගැනීම ඔබ සතුය.~

© kalSwijesooriya @ KC & baby K

Comments

Popular posts from this blog

පැනයට පිළිතුරු 01 (Problem_Solving)

බබා ට කිරි වැඩිපුර..... More breast milk to ur infant

බුද්ධිමත් දරුවෙක් නිර්මාණය කරමු - Make Ur baby Intelligent