බුද්ධිමත් දරුවෙක් නිර්මාණය කරමු - Make Ur baby Intelligent



1. එක්ව ගී ගයන්න, එක්ව කියවන්න


• ගීත ගායනා කිරීම ත්, ගීත වලට සවන් දීම ත් මඟින් දරුවාගේ ශබ්දය (sound), තාලය (rhythm) හා භාෂාව (language) පිළිබඳව  ඉගෙනුම වර්ධනය වීම සිදු වේ.


• දරුවන් වෙනුවෙන් කියවීම යනු දෙමාපියන් ගේද මනස සැහැල්ලු කරන ක්‍රියාකාරකමකි. එමෙන්ම දරුවා හට වචන යොදා ගන්නා පිළිවෙල හඳුනා ගැනීමට මෙය උදව් වෙනවා.

 (මේ සඳහා සුදුසු ළමා ගී, ශාස්ත්‍රීය ගී,  තෝරාගැනීමට වග බලා ගන්න.වර්ණවත්, පැහැදිලි රූප හෝ ත්‍රිමාණ හැඩ සහිත  පොත් තෝරා ගත හැක.දරුවන් වඩාත් සංවේදී වන්නේ  තම දෙමාපියන් ගේ කටහඬ ට බව මතක තබාගන්න)

2.   සිප ගන්න, තුරුළු කරගන්න, ආදරය ලබා දෙන්න

මිනිස් සිත/මොළය සැකසී ඇත්තේ තම ආරක්ෂාව වෙනුවෙන් නිසැකවම ක්‍රියා කිරීමට. දරුවන් නිතර දෙමාපියන් ගෙන් රැකවරණය පතන්නේ මේ නිසයි. ඔවුන් ගේ මනස රැකවරණය හඳුනාගන්නේ සිප ගැනීම, තුරුළු කරගැනීම හා ආදරය ලබාදීම එහෙමත් නැත්නම් සුරතල් කිරීම තුලින්. මෙය ඔවුන් ගේ මනසේ සුරක්ෂිත වර්ධනයට ඉවහල් වේ.

3. මිහිරි හඬින්, ඇස් සමඟ, කතා කරන්න


උපන් අලුත සිටම බබාට කතා කිරීම මුහුණේ ඉරියව් හා හැඟීම් හඳුනා ගැනීමේ සිට මතකය වර්ධනය වීම දක්වා හේතු වන අතර,  දරුවන් ට වැඩි වචන ගණනක් ඇසීම ඔවුන්ගේ බුද්ධි වර්ධනයට ඍජුවම බලපායි. එලෙසම දරුවන්ට සරිලන උස් හඬකින් කතාකිරීම දරුවාගේ කථන හැකියාව වගේම භාෂාමය හැකියාව ත් දියුණු කරනවා.

4. හැංගි මුත්තං(peek-a-boo) හා කිති කවමින් සෙල්ලම් කිරීම (this lil piggy)


දරුවා සමඟ සතුටින් සිනාසෙන්නට මඟ පාදන අතරම නොපෙනී යාමේ/disappear සංකල්පය හා පූර්ව අපේක්ෂාව/anticipate ඉගෙනුමට හේතු වේ.

5. කණ්නාඩි සෙල්ලම්


බබාට ඔහුව කණ්නාඩියකින් පෙන්වන්න. ඒ වෙනත් බබෙක් යැයි ඔහු සිතාවි. නමුත් ප්‍රතිබිම්බය සමඟ සිනාසීමට, අත වැනීමට මට, කතා කිරීමට බබා කැමැති වේවි.

6. එක්ව ගණන් කරන්න


බබා නාවන විට, පිරිසිදු කරන විට, බබාට ඇසෙන සේ ඇඟිලි ගණන් කරන්න. බබා ගේ සෙල්ලම් බඩු ගණන් කරන්න. වයසින් වැඩෙත්ම කෑම ගන්නා විට ඇට වැනි දේ ගණන් කරන්න. ඉක්මනින් ම බබා ද ඔබ හා එක් වනු ඇත.

7. ඇඟිලි දිගු කර පෙන්වන්න


ඔබ දකින යම් යම් දේ බබාටද පෙන්වමින්, ඒ ගැන යම් යම් දේ බබා සමඟ කියන්න. දරුවා ගේ නිරීක්ෂණ හැකියාව අරඹන තැන එතැනයි.

8. ඩිජිටල් තිර අවම කරන්න (TV, Mobile Phones, tabs, Computers)

බබා ට වයස මාස 18 වන තෙක් මෙවැනි උපකරණ වලට බබා යොමු කිරීමෙන් හැකිතාක් වලකින්න. එය බබාගේ කථන හැකියාව ට හා භාෂා වර්ධනය ට අහිතකර බවයි පරීක්ෂණ මඟින් පෙන්වා දෙන්නේ. මාස 18න් පසුව වුවද මෙවැනි උපකරණ භාවිතා කරන සෑමවිටම දරුවා සමඟ ඔබත් එය නරඹන්න. බබා දකින දේ ගැන කතා කරන්න.

9. නිරන්තරයෙන් දරුවා ට සවන්දෙන්න


ළදරුවන් හැඩීමෙන් ද, විවිධ ශබ්ද හෝ හඬ මඟින් ද, වයසින් වැඩෙත්ම වචන මඟින් මෙන්ම නිශ්ශබ්දතාවයන් ගෙන්ද ඔබත් සමඟ සංනිවේදනය කිරීමට උත්සාහ කරයි.
මේ සෑම විටම ඔබේ ප්‍රතිචාරය දරුවාට බොහෝ වැදගත්. එබැවින් කුමන ආකාරයේ ක්‍රියාවකට වුවත් ඔබේ අවධානය ලබා දීමට කටයුතු කරන්න. එමඟින් දරුවා ඔබ ගැන විශ්වාසය තැබිය හැකි බව වටහා ගනී. එය දරුවාගේ බුද්ධි වර්ධනයට මෙන්ම මානසික සුවයටත් බොහෝ හේතු වෙනවා.

10. තෝරා ගැනීමට අවස්ථාව ලබා දෙන්න

ඉතාම කුඩා වයසේ දී වුවත් දරුවන් ට තම කැමැත්තට අනුව තෝරා ගැනීම ට ඉඩ දෙන්න. Ex. සෙල්ලම් බඩු දෙකක් ලබා දී ඉන් එකක් තෝරා ගැනීමට. දරුවා ගේ පෞරුෂ වර්ධනයට ඍජුවම හේතු වනු ඇත.

11. විවේකය ට ඉඩ දෙන්න


බබා සෑම විටම යමක් කිරීමෙන් නොව දරුවා කිසිවක නිරත නොවී විවේකීව සිටීම ද යහපත් මානසික සෞඛ්‍යකට උපකාරී වෙනවා. සෙල්ලම් බඩු කිසිවක් නැති, ශබ්ද හා තද ආලෝක නැති තැනක බිම බබාව තබා ඔහුට අවශ්‍ය ලෙස සිටීමට ඉඩ දෙන්න.

12. අවට පරිසරය ට හුරු කරන්න


දරුවා ව ගෙවත්තට වගේම, ළමා උයනක ට, වෙළඳ සැලකට, සල්පිලකට, වැනි මිනිසුන් ගැවසෙන යම් යම් ස්ථාන වලටද රැගෙන යන්න. දරුවා අවට පරිසරය නැරඹීම තුලින් ඔබට සිතිය නොහැකි තරම් දේ උගනීවි.

13. සෙල්ලම් බඩු බිම දැමීමට ඉඩ දෙන්න


බබා සෙල්ලම් කරමින් සිටින සෙල්ලම් බඩු හිතාමතාම බිම දානවා ඔබ දකීවි. එයට ඉඩ දෙන්න - දරුවා යම් සිදුවීමකට හේතුවක් ඇති බව ඉගෙන ගන්නා පළමු පාඩම එයයි.
නැවත නැවත එය රැගෙන දෙන්න - දරුවා අතින් වැටුණු දේ තනියම ගැනීමට ඉක්මනින් හුරු වේවි.

14. பெயர் என்ன?(peyar enna?)/ आपका नाम क्या है? (aapka naam kya hai?)/ what's your name?


බබා ට සමීප අය වෙනත් භාෂා කථා කරයි නම් එයට ඉඩ දෙන්න. විවිධ භාෂා ඉගෙනීම දරුවා ගේ ඥාන වර්ධනයට ඉවහල් වනු ඇත.

15. හැකිතාක් මව් කිරි ලබා දෙන්න


මව් කිරි හා දරුවන් ගේ ඥානය අතර පැහැදිලි සම්බන්ධතාවයක් ඇති බවයි නවතම පරීක්ෂණ මඟින් පෙන්වා දෙන්නේ. එබැවින් අනිවාර්යයෙන් මාස 6කුත්, අතරව අවුරුදු 1ක් වන තුරුත්, හැකි නම් වසර 2ක් වන තුරුත් මව් කිරි ලබා දීම දරුවා ගේ බුද්ධි වර්ධනයට හේතු වේ.

~මෙහි අන්තර්ගතය මා සතු පෞද්ගලික අත්දැකීම් ද, පොත පත අධ්‍යයනයෙන් හා අන්තර්ජාලය ඇසුරින් මා ලබා ගත් දැනුමද වන අතර, අවශ්‍ය විට සුදුසු වෛද්‍ය උපදෙස් ලබා ගැනීම ඔබ සතුය.~

© kalSwijesooriya @ KC & baby K


Comments

Post a Comment

Popular posts from this blog

පැනයට පිළිතුරු 01 (Problem_Solving)

බබා ට කිරි වැඩිපුර..... More breast milk to ur infant