මොනවද මේ සෙම?

"අනේ බබාට "සෙම" වැඩි වෙලා මේ බෙහෙත් ටිකක් ගන්න ගියා." "අයිස් ක්‍රීම් ටිකක් කමු නේද? ෂ්.. ෂ්.. බබා ට නම් ඇහෙන්න කියන්න එපා. එයාට "සෙම". සීතල කෑම දෙන්නෙම නෑ අපි" "හරි රස්නෙයි. පවු බබා. ඇඟ ටිකක් සේදුවා නම් හොඳයි නේද?. පිස්සුද හවස් වෙලා පපුව තෙමෙන්න හොඳ නෑ, "සෙම" එයි බබාට" "බබාට යෝගට්, චීස්, එහෙම වැඩිය දෙන්න එපා "සෙම" එනවා ඕවට" මොනවද මේ සෙම? අපි අපේ ජීවිතේ වැඩිපුරම බෙහෙත් අරන් ඇත්තේ මෙන්න මේ කියන "සෙම" ට එහෙම නේද? ඉතින් අපි මේ "සෙම"ට පුදුමාකාර බියක් දක්වනවා වගේම ඒ නිසාම අපේ පැට්ටොන්ට සෙම හැදෙයි කියලා පරිස්සම් කරන්න බොහෝ උත්සාහ කරනවා. නාසයෙන් සොටු දියර ගැලීම, නාසය හිර වීම, කැස්ස, කිවිසුම් යාම, උගුර කැසීම, උගුර පැටලීම, හුස්ම ගන්න විට පපුව ඇතුලෙන් ශබ්දයක් නිකුත් වීම, පපුව තද ගතිය, හුස්ම ගැනීමේ අපහසුව, හිසරදය, ආදී සියලු රෝග (රෝග ලක්ෂණ) සඳහා අපි කියන පොදු නම තමා "සෙම". නමුත් බටහිර වෛද්‍ය විද්‍යාව අනුව "සෙම" කියලා රෝගයක් නැහැ. ...