ළමා විය සංවර්ධනය - Child Development
දරුවෙකු මව් කුස තුල පිලිසඳ ගත් පසු අවයව විකසනය වෙමින් ඇරඹෙන ළමා සංවර්ධනය, මෙලොව බිහි වූ දා පටන් හිස එසවීම, මුනින් පෙරලීම, වාඩි වීම, බඩගෑම, දණගෑම, ඇවිදීම, පැනීම ආදියේ සිට, කථා කිරීම, තනිව ආහාර ගැනීම හා ඇඳුම් සපත්තු ඇඳීම දක්වා වූ පුලුල් පරාසයක විසිර පවතී.
ඉන්පසුවද අධ්‍යාපනය ලැබීම, කුසලතා ඉගෙනීම හා දක්ෂතා ප්‍රගුණ කිරීම (උදා. ගණිත කර්ම අධ්‍යයනය, චිත්‍ර ඇඳීම, ගීත ගායනය, ක්‍රීඩා කිරීම) දක්වාම දිව යන්නේ මෙම කායිකව මෙන්ම මානසිකව ද සිදුවන ළමා සංවර්ධනයයි. මීට අමතරව මුලුමනින්ම වගේ අපෙන් ගිලිහී ඇති සාමාජීයමය සංවර්ධනයත් දරුවෙකුගේ මනා සංවර්ධනයේදී වඩාත් වැදගත් වන සංධිස්ථානයක් බව දෙමාපියන් වටහාගත යුතුය.
මෙම ළමා සංවර්ධනය විද්‍යාත්මකව ප්‍රධාන ආකාර 5 කින් හඳුනාගෙන ඇත. එසේම, යම් හඳුනාගත් කාල පරාසයකදී මෙසේ දරුවන් වර්ධනය කරන ප්‍රධාන හැකියාවන් ළමා සංවර්ධනයේ සන්ධිස්ථාන - Child Development Milestone ලෙස හැඳින්වේ. (මේ ගැන මීලඟ ලිපියෙන් බලාපොරොත්තු වන්න)
ළමා සංවර්ධනයේ ආකාර
1. සංජානනීය සංවර්ධනය - Cognitive Development
මෙය දරුවාට ඉගෙන ගැනීමට සහ ගැටළු විසඳීමට ඇති හැකියාවයි.
උදාහරණයක් ලෙස; මාස දෙකක ළදරු වියේදී දරුවෙක් දෑත් සහ ඇස් මඟින් තමා අවට පරිසරය හඳුනා ගනිමින් ගවේෂණයක නිරත වන අවස්ථාවේ සිට වයස අවුරුදු 5ක දරුවෙකු සුලු ගණිත ක්‍රම යොදමින් ගැටලු විසදීම දක්වා දරුවා තුල සිදු වන්නේ මෙම සංජානන සංවර්ධනයයි.
2. සමාජීය හා චිත්තවේගීය සංවර්ධනය - Social and Emotional Development
එකිනෙකාට උදව් උපකාර කරමින්, තම හැසිරීම් හා ක්‍රියාකාරකම් ස්වයං දමනයක් සහිතව සිදු කරමින් අන්‍යයන් සමඟ සාමූහිකව හා මිත්‍රශීලීව කටයුතු කිරීමට දරුවා හැකියාව ලැබීම මේ නම් වේ.
නිදසුන් ලෙස; සති හයක් වයසැති ළදරුවෙක් සිනහපාමින් මව සමඟ සබඳතා දැක්වීම, මාස දහයක් වයසැති බබෙක් බයි-බායි කියමින් අන්‍යයන් සමඟ මිත්‍රශීලිව ක්‍රියා කිරීම හෝ පස් හැවිරිදි දරුවෙක් පන්ති කාමරය තුල සම වයසේ යහලුවන් සමඟ සුහදව හැසිරීමත් දරුවාගේ සමාජීය හා චිත්තවේගීය සංවර්ධනයයි.
3. කථන හා භාෂා සංවර්ධනය - Speech and Language Development
භාෂාව තේරුම් ගැනීමට සහ භාවිතා කිරීමට දරුවාට ඇති හැකියාව මෙයයි.
නිදසුන් නම්; මාස 12 ක් වයසැති ළදරුවෙකු ඔහුගේ පළමු වචන පැවසීම, අවුරුදු දෙකක් වයසැති දරුවෙක් ශරීරයේ කොටස් නම් කිරීම හෝ අවුරුදු පහක් වයසැති දරුවෙක් "පාදය" හා"පාද" අතර වෙනස හඳුනා ගනිමින් කතා කිරීමට ඉගෙනීම කථන හා භාෂාමය වර්ධනය වේ.
4. සියුම් චලන නිපුණතා සංවර්ධනය - Fine Motor Skill Development
දරුවන් කුඩා මාංශ පේශි, විශේෂයෙන් ඔවුන්ගේ අත් සහ ඇඟිලි භාවිතා කිරීමට, කුඩා දෙයක් අහුලා ගැනීමට, හැන්දක් අල්ලා ගැනීමට, පොතක පිටු පෙරළීමට හෝ පාට කූරක් මඟින් ඇඳීමට දරුවාට ඇති හැකියාව මෙයයි.
5. දළ චලන නිපුණතා සංවර්ධනය - Gross Motor Skill Development
විශාල මාංශ පේශි භාවිතා කිරීමට දරුවාට ඇති හැකියාව මෙයයි.
උදාහරණ වශයෙන්, මාස හයක් වයසැති ළදරුවෙකු යම් සහයක් ඇතිව වාඩි වීමට ඉගෙන ගනී, මාස 12 ක් වයසැති ළදරුවෙක් ගෘහ භාණ්ඩ ආධාර කරගෙන සිටගැනීමට ඉගෙන ගනී, සහ පස් හැවිරිදි දරුවෙක් උඩ පැනීමට ඉගෙන ගනී.
මීලඟ ලිපියෙන්, ළමා සංවර්ධනයේ සන්ධිස්ථාන - Child Development Milestones ගැන දැන ගනිමු.
~මෙහි අන්තර්ගතය මා සතු පෞද්ගලික අත්දැකීම් ද, පොත පත අධ්‍යයනයෙන් හා අන්තර්ජාලය ඇසුරින් මා ලබා ගත් දැනුමද වන අතර, අවශ්‍ය විට සුදුසු වෛද්‍ය උපදෙස් ලබා ගැනීම ඔබ සතුය.~
© kalSwijesooriya @ KC & baby K
Good article.
ReplyDeleteThanks a lot
Delete