ළමා විය සංවර්ධන සන්ධිස්ථාන - Child Developmental Milestones


(පෙර ලිපිය : https://kcandbabyk.blogspot.com/2019/08/child-development.html)

බබාට වයස මාස 9-15 ත් කාලයේදී සෑම දෙමාපියෙකු ගේම නොඉවසිලිමත් බලාපොරොත්තුව වන්නේ තම පැටියා පුංචි පා ඔසවමින් ඇවිදීමයි.

ඒ වගේම, මාස 6 ක් වූ විට පැටියාට ඝන ආහාර හඳුන්වා දීම ඇරඹීම මවකට ඇති තවත් භාරදූර වගකීමකි.

මෙසේ දරුවන් යම් නිශ්චිත කාල රාමුවකදී සිදු කරන හෝ සිදුවන ක්‍රියාවන්, එහෙමත් නැත්තම් දරුවා ලබා ගන්නා කුසලතාවයන් ළමා සංවර්ධන සන්ධිස්ථාන ලෙස හඳුන්වයි.

එනම්, බබා මාස 9-15 දී ඇවිදීමට ඉගෙනීමත්, මාස 6 ක් වූ විට ඝන ආහාර ආහාරයට ගැනීමත් යන නිපුණතා වර්ධනය බබාගේ සංවර්ධනයේ සන්ධිස්ථාන වේ.

මෙම සන්ධිස්ථාන සංවර්ධනය සිදුවන්නේ යම් නියමිත පිළිවෙලකින් යුතුවයි. එනම්, දරුවෙකු යම් නිපුණතාවක් වර්ධනය කිරීමට පෙර වර්ධනය කර ගත යුතු තවත් නිපුණතා ඇත.

උදා. දරුවන් පළමුව බඩගෑමට ඉගෙන ගතයුතු අතර, ඊට පසුව ඇවිදීමට පෙර, ස්ථාවරව සිට ගැනීමට ඉගෙන ගත යුතුයි, ඉන් අනතුරුවයි දරුවා ඇවිදීමට හැකියාව ලබන්නේ.

එනම්,  දරුවන්ගේ වර්ධනය එකින් එකට බැඳී, පියවරෙන් පියවරට සිදු වන බවයි. එලෙසම මෙම සංධිස්ථාන බොහෝවිට පෙන්නුම් කරන්නේ සමාන කාල පරාසයක් තුලදීයි. 














නමුත් සෑම දරුවෙකුටම එසේම සිදු වන්නේ නැහැ. ඇතැම් දරුවන් නියමිත කාලයට වඩා කලින් වගේම ඇතැම් දරුවන් නියමිත කාල සීමාව පසුවීද මෙම වර්ධන කඩයිම් වලට ලඟාවීම සිදු වෙනවා.

මාස 10 සම්පූර්ණ වීමට පෙර ඇවිදින දරුවන් ගැනත්, අවුරුදු 2 වන තුරුම වචනයක් හෝ කථා නොකල දරුවන් ගැනත් ඔබට අසන්නට ලැබෙන්නේ මේ නිසායි.

කෙසේ වෙතත්, බොහෝ දරුවන්ට සන්ධිස්ථානයක් සපුරා ගත හැකි කාල සීමාවන් අනිවාර්යයෙන්ම තිබේ.

නිදසුනක් වශයෙන්, දරුවන් වයස මාස 9 ත් 15 ත් අතර ඕනෑම අවස්ථාවක ඇවිදීමට ඉගෙන ගනී. එලෙස, ඔබේ දරුවාට වයස මාස 13 ක් වුවත් ඇවිදින්නේ නැතිනම්, ඔහු බඩගෑම, සිපගැනීම යන සංධිස්ථාන පසු කරමින් සිටී නම් බිය විය යුතු නැත. ඔහු ඇවිදීම ඉගෙන ගැනීමට අවශ්‍ය පෙර කුසලතා ලබාගෙන ඇති අතර නොබෝ දිනකින් ඇවිදීමට පටන් ගනු ඇත. නමුත්, ඔබේ මාස 15 ක් වයසැති දරුවා තවමත් ඇවිදින්නේ නැතිනම්, දරුවාව ළමා රෝග විශේෂඥ වෛද්‍ය වරයෙකුට පෙන්වීම කල යුතුයි.


දෙමව්පියන් වශයෙන්, අප සියලු දෙනාටම අවශ්‍ය වන්නේ අපේ දරුවන් සාර්ථක වී ඔවුන් විය හැකි හොඳම අය වීමයි. මෙසේ දරුවන්ගේ සාර්ථකත්වයට හා වර්ධනයට බලාපාන අප කවුරුත් දන්නා සාධක දෙකකි. එනම්, ජාන හා පරිසරයයි.

ජාන
දරුවන්ගේ වර්ධනයට බලපාන එක් සාධකයක් වන ඔවුන්ගේ ජාන සැකැස්ම එහෙමත් නැත්නම් “ජාන” දරුවන්ට ලැබෙනුයේ දෙමාපියන් ගෙන්ය. දරුවන් ඉපදෙන්නේ ඔවුන්ගේ මෙම “ජාන” සමඟ ය. ජාන දරුවාගේ ලක්ෂණ මොනවාද යන්න පිළිබඳ සැලැස්මක් ලෙස ක්‍රියා කරයි. නිදසුනක් වශයෙන්, දරුවෙකුට නිල් ඇස් හෝ දුඹුරු ඇස් තිබේද යන්න ජාන විසින් තීරණය කරයි;  ඔහු වම් හෝ දකුණතද යන්න තීරණය කරයි.


පරිසරය

මෙලෙස ළමා සංවර්ධනයට බලපාන අනෙක් සාධකය නම් පරිසරයයි.  ළමයින්ට ඔවුන්ගේ නිවස, පාසල සහ ප්‍රජා පරිසරය තුළ ඇති අත්දැකීම් මෙයට ඇතුළත් වේ. පරිසරය මඟින් දරුවෙකුගේ ජාන සැකැස්ම වැඩිදියුණු කිරීමට හෝ හානි කිරීමටද හැකිය. 

නිදසුනක් වශයෙන්, තුන්වන ලෝකයේ රටවල වෙසෙන, මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන්ට, ඔවුන්ගේ මොළයේ වර්ධනයට පරිසරයේ ඇති බලපෑම නිසා බුද්ධි වර්ධනය අඩාල විය හැකියි.

දරුවාගේ වර්ධනය උත්තේජනය කිරීම සඳහා විශේෂ සෙල්ලම් බඩු, සංගීත භාණ්ඩ සහ ක්‍රීඩා භාණ්ඩ මිලදී ගත යුතුයැයි අපි බොහෝ විට සිතමු, නමුත් මේ සඳහා දරුවා සමඟ එදිනෙදා ක්‍රියාකාරකම් වල නිරත වීම වඩාත් වැදගත් බව දෙමාපියන් වටහාගත යුතුයි.

දරුවාගේ බුද්ධි වර්ධනය උත්තේජනය කල හැකි එදිනෙදා ක්‍රියාකාරකම් පහත link එකෙන්.
https://kcandbabyk.blogspot.com/2019/06/blog-post_8.html

~මෙහි අන්තර්ගතය මා සතු පෞද්ගලික අත්දැකීම් ද, පොත පත අධ්‍යයනයෙන් හා අන්තර්ජාලය ඇසුරින් මා ලබා ගත් දැනුමද වන අතර, අවශ්‍ය විට සුදුසු වෛද්‍ය උපදෙස් ලබා ගැනීම ඔබ සතුය.~

© kalSwijesooriya @ KC & baby K

Comments

Popular posts from this blog

පැනයට පිළිතුරු 01 (Problem_Solving)

බබා ට කිරි වැඩිපුර..... More breast milk to ur infant

බුද්ධිමත් දරුවෙක් නිර්මාණය කරමු - Make Ur baby Intelligent