අලුත් ජීවයක්… නව ආරම්භයක්… තවත් මනුෂ්‍ය සම්පතක්

මවක් ලොවට, සමාජයට තවත් ජීවයක්, මනුෂ්‍යයෙක් දායාද කිරීමට කරන කැප කිරීම, දරන මහන්සිය වචනයෙන් විස්තර කිරීමට නොහැකි තරම්.
දඟකාර කෙල්ලකව සිටි ඇය පළමුව දයාබර බිරියක්, තවත් පවුලකට දියණියක්(යේළිය), සොයුරියක්(නෑනා) බවටත්, ඊටත් පසුව වගකීම් සහගත මවක් දක්වාත් තම ජීවිතය හැඩ ගස්වා ගනී. මෙම පරිවර්තනය ඉතා සුමට, සුසිනිඳු ගමනක් නම් ඇය බොහෝ වාසනාවන්ත බව නොකිවයුතු තරම්ය.
ජීවිතයක් සතුට, සැනසීම, තෘප්තිය, මෙන්ම ජයග්‍රහණ හා දැඩිව බැඳී පවතී. එය කාන්තාවකටද එලෙසින්මය. ඇය යම් යම් දේ නොසලකා හැර, අතපසු කර හෝ නිහඬව සිටීමෙන් සිදු වන්නේ ඇයත් නොදැන ඇගේ දිවිය නීරස වීමය. නැතහොත් ජීවත් වීම ගැන ඍණාත්මක ආකල්ප වලට හිමිකම් කීමය. එය ඇයත් නොදැනී ඇගේ පවුලේ අයහපත් පැවැත්මට හේතු වන්නේ නුදුරේම දරුවන්ටද අමිහිරි සිදුවීම් මතකයට එක් කරමින් වන්නට පුලුවන්.

01. බබා ඉපදී පළමු මාස 3-6 ඔබ ගර්භනී ලෙසම සලකන්න.
ගර්භනී සමය අවසන්ව කිරි කැටියා ඔබේ අතට පත් වුනද, දරු පැටියා මාස 6ක් යන තුරුම සම්පූර්ණයෙන් පෝෂණය ලබන්නේ ඔබෙන්. එබැවින් ගර්භනී සමයේදී මෙන්ම ඔබ කල වත්පිළිවෙත් එලෙසින්ම මාස 6ක් වන තුරු කරන්න.
- ගර්භනී සමයේදී ගත් විටමින් මාස 6ක් වන තුරු ලබා ගන්න.
- ගර්භනී සමයේදී හා සමානවම පෝෂදායී, සමබර ආහාර වේලක් ලබා ගන්න.
- අධික බර එසවීමෙන් වලකින්න.
- අධිකව කය වෙහෙස කරන වැඩ කිරීමෙන් වලකින්න.
02. හැකි විටක නින්ද සම්පූර්ණ කරන්න.
අලුත උපන් දරුවෙක් සිටින සෑම මවකටම අඩුවෙන්ම ලැබෙන හා වටිනාම දෙය තමයි නින්ද. දරුවා රාත්‍රියේ නොනිදන මවක් මෙය උග්‍ර ගැටලුවක් වනවා නිසැකයි.නමුත්, ඔබේ අනෙකුත් දෛනික කාර්යන් මෙන්ම මව්කිරි නිෂ්පාදනයද ප්‍රශස්ථ මට්ටමක තබා ගැනීමට නම් ප්‍රමාණවත් නින්දක් ලැබීම අනිවාර්ය වේ. එබැවින් හැකි විටක නින්දක් ලබා ගැනීමට උත්සාහ කරන්න. සුදුසුම දෙය දරුවා නිදන විටක ඔබද නින්දක් ලබා ගැනීමයි. එය දිවා, රාත්‍රි ලෙස වෙන් කිරීමට වඩා ඔබේ ශරීර සෞඛ්‍ය වැදගත් බව වටහා ගන්න.

03. ලැබෙන ඕනෑම උදව්වක් පිළිගන්න.
කුමන ආකාරයේ හෝ උදව්වක් කිසිවෙකුගෙන් හෝ ලැබේ නම් එය පිළිගැනීමට මැලි නොවන්න. ඉතාම කුඩා උපකාරයක් වුවද දවස අවසානයේ එය ඔබට බොහෝ සහනයක් ගෙන දේවි.
ඒ සියලු දේ ...
"පුළුවන් ද?
කමක් නැද්ද?
ලොකු උදව්වක්..."
ලෙස පිළිගන්න.
04. අන් අය සමඟ තමාව හෝ දරුවාව සංසන්දනය නොකරන්න.

"මට නම් ගලන්න කිරි තිබුනා. ඔයාට එහෙම නැද්ද?"
"මම නම් බබා හම්බ වුනා දන්නෙවත් නෑ..."ආදි ප්‍රකාශ 100% සත්‍ය වුවද ඔබ ඇය නොවේ. එමෙන්ම ඔබේ තත්වයටද වඩා අඩු තත්ත්වයේ මව් වරුන්ද සිටින බව වටහා ගන්න.
දරුවා ද වෙනත් දරුවන් සමඟ කිසිවිටෙකත් සංසන්දනය නොකරන්න. උපත් බර, දරුවාගේ පැහැය, ක්‍රියාකාරකම් සිදුකරන වයස එක එක් දරුවාට වෙනස් බැවින් සංසන්දනය කිරීමෙන් ඵලක් නොවන බව වටහාගන්න.
05. තමාව අවතක්සේරු නොකරන්න.

.Kalswijesooriya@gmail.comඔබ කුමන අයුරකින් දරුවා ලොවට බිහි කලද,
ඔබ කුමන ආකාරයකින් දරුවාගේ කුසගිනි නිවුවද,
ඔබේ දරුවා කුමන ලක්ෂණ ඇතිව බිහි වුනද,
ඔබ ඔහුගේ/ඇයගේ මවයි. ඔබයි ඔහුගේ/ඇයගේ සෑම ලේ බිංදුවක්ම. ඔහුව/ඇයව කුසතුල දරා සිට බිහි කලේ ඔබයි.
දරුවෙක්ට මෙලොව අතයාවශ්යම පුද්ගලයා මවයි. මව තරම් දරුවෙක්ට පිළිසරණක් මෙලොව නොමැති තරම්. එය ඔබ වටහාගන්න. ඔබේ වටිනාකම එයින් ඔබට දැනෙනු ඇත.
06. මවක්, බිරිඳක් පමණක් නොව පෙම්වතියද බව අමතක නොකරන්න

- ඔහු ඔබ ගැන කැමති වූ ලක්ෂණ වලින් බැහැර නොවන්න.
- ඔහු ඔබේ අගය කල දේවල් පවත්වා ගන්න.
- ඔහු ආදරය, සෙනෙහස බලාපොරොත්තු වන්නේ ඔබෙන් බව අමතක නොකරන්න.
- ඔබ දෙපලට තනිව කාලය ගත කිරීමට අවස්ථාව සලසාගන්න.
07. මම දැන් අම්මා කෙනෙක්!
මෙහි දෙපැත්තක් තිබෙනවා. අන්තගාමී නොවීමයි සුදුසු.ඔබ දැන් අම්මා කෙනෙක් යනු ඔබ ඔබේ මව හෝ ස්වාමියාගේ මව වීම නොවේ. ඔබත් ඔවුන් මෙන් ජීවත් වීම අවශ්‍ය වන්නේ නැහැ. ඔබ ඔබම වන්න. දරුවන්ගේ ජීවිත වලට අවැඩක්, නරක ආදර්ශයක් නොවනතාක් ඔබේ ජීවිතයම ඔබ ගෙවන්න.

- ලස්සනට, පිළිවෙලට, තැනට ගැළපෙන පරිදි, පහසුවට අඳින්න. පලඳින්න.
- හිස කෙස් කැමැත්ත පරිදි පවත්වා ගන්න.
- ඔබ වෙනුවෙන් අවශ්‍ය කරන යමක් මිල ගෙන භාවිතා කරන්න. - සුවඳ විලවුන්, ක්‍රීම්, පවුඩර්, සබන් ආදි
- ඔබේ ආශාවන්ටද හැකි තාක් ඉඩ දෙන්න. විනෝද වෙන්න, සතුට ගෙන දේ වල නිරත වන්න. සුලු දෙයින්ද සතුටු වෙන්න.
- ඔබේ ඉලක්ක වලට යාමට මවක් වීම බාධාවක් නොවන බව සිතට ගන්න. - ඉගෙන ගන්න, රැකියාවක් හෝ ව්‍යාපාරයක් කරන්න, විනෝදාංශයක නිරත වෙන්න.
08. යහලුවන්, නෑදෑයන්, හිතවතුන් සමඟද කාලය ගත කරන්න
"බබා එක්ක බෑ දැන්"නමුත් එයින් ඔබට අහිමි වන්නේ වටිනා අවස්ථාවක්, මතකයක්, අත්දැකීමක් විය හැකි බව ඔබ දන්නවාද?
ඕනෑම දේකදී අපේ ශ්‍රී ලාංකීය මව් වරුන්ගේ කටේ තිබෙන වචනය තමා ඒ.

අවම තරමින් දුරකථන සංවාදයකින්, අන්තර්ජාල පහසුකම් ආධාරයෙන්, සමාජ මාධ්‍ය ජාල ඔස්සේ හෝ මිතුරු මිතුරියන්, නෑදෑ හිතවතුන් සමඟ අදහස් හුවමාරු කර ගන්න. සුවදුක් විමසන්න.
09. සහකරු සමඟ සෑම විටම කතාබහ කරන්න. සාකච්ඡා කරන්න.

ඔබේ සැමියා පමණක් රැකියාවක් කරනවා නම්, එය ඔහු මතම තබා ඔබ නිශ්ශබ්දව නොසිටින්න. ඔහුගේ රාජකාරී කටයුතු ගැන කථා කරන්න. අගය කරන්න. ඔහුට සවන් දෙන්න. ඔහුව තේරුම් ගන්න. සැකයට කිසිවිටෙකත් ඔබ දෙපල අතරට ඒමට ඉඩ නොදෙන්න. වෙනත් අයෙකු ඔබ දෙපල අතරට ඒමට ප්‍රථම පැමිණෙන තුන් වැන්නා සැකය බව වටහා ගන්න.
හැකි නම් අමතර ආදායමක් ලැබෙන දෙයක නිරත වීමට උත්සාහ ගන්න. අලුතින් සිතා නවතම දෙයක් කරන්න. අනෙක් අයෙක් කරන දෙයම කිරීමට වඩා එය සාර්ථක වනු ඇත. හැකි සෑම විටම ස්වාමියාගේද සහය ලබා ගන්න.
ඔබ රැකියාවක් කරන අයෙක් නම්, ඔබේ රැකියාවේ කටයුතු ගැන ඔහුටද කියන්න. ඔබ නිතර ගැටෙන පුද්ගලයන් සැමියාටද හඳුන්වා දෙන්න. අවශ්‍ය විට සැමියාගෙන් උපදෙස් පතන්න. ඔබ ඔහුට වඩා කිනම් අයුරකින් හෝ උසස් වුවද ඔහු ඔබ නොදකින යමක් දැකිය හැකියි. එබැවින් උත්සාහ කරන්න. එය ඔහුත් ඔබත් අතර නව බැඳීමක් නිර්මාණය කරනු නිසැකය.
වඩා හොඳ සම්බන්ධතාවයක රහස එකිනෙකා අතර අදහස් හුවමාරු කරගැනීම බව වටහා ගන්න.
10. ශරීරයේ බර, ස්ථුලතාවය පාලනය කරන්න.

බඩ හා මහත ...
දරුවන් ලද මවකට අනිවාර්යයෙන්ම උරුම වන දෙයක් තමා මේ බඩ කියන්නේ. ඒත් එක්කම බොහෝ මව් වරුන් ගර්භනී සමයේදී වැඩි වූ ශරීර බර එහෙමත් නැත්නම් මහත් වූ ශරීරයක් ද උරුම වෙනවා.එසේ වැඩිවූ ශරීර බර හා මහත අඩු කර ගැනීමට කල හැකි සුදුසුම දේ තමා ව්‍යායාම කිරීම. 😕 එය ඇසූ සැනින් අපෝ ඕවට කොහෙද වෙලාවක් ඒක තමා ඇසෙන්නේ. ඒකත් ඇත්ත, උදේ, දවල්, රාත්‍රියේ එක ලෙස නිවසේ ආහාර පිළියෙල කිරීමට සිදු වී ඇති ශ්‍රී ලාංකීය මව් වරුන්ට අනෙකුත් කාර්යන්ටද ඉතිරි වන්නේ සීමිත කාලයක් බව සැබෑයි. නමුත්, නිවසේ සිදුකරන කාර්යයන්ම ඔබට ව්‍යායාමයක් කර ගැනීමට ඔබට හැකියි.
එදිනෙදා ක්‍රියාකාරකම් ව්‍යායාම ලෙස
ඔබ නිතර වාහනයක යන කාන්තාවක් නම් හැකි විටක පයින් ටිකක් දුර ගමන් කිරීමට අවස්ථාව සලසාගන්න.ආහාර පාලනය කින් යුතුව...
ආහාර පාලනයකින් ලබා ගන්න. ඔබ කිරි දෙන මවක් බැවින් බත් පිඟානක් කෑම කිසිදු ප්‍රතිඵලයක් ගෙන දෙන්නක් නොවේ. එළවලු, පලා, මස් මාංශ, ධාන්‍ය වැඩිපුරත් කාබෝහයිඩ්රේට්, සීනි, මේදය අඩුවක් පරිභෝජනය කරන්න.කෙට්ටු වෙන්න මව්කිරි ....
හැකි පමණ මව්කිරි ලබා දෙන්න!!!
11. තමාට වෙන් වූ කාලයක් ලබා ගන්න.
දෛනිකව දරුවා නිදන වේලාවක, දරුවා වෙනත් අයෙක් සමඟ සිටින වේලාවක හෝ දරුවා සෙල්ලම් කරන වේලාවක තමා බොහෝ ප්‍රිය කරන කාර්යක් කිරීම සඳහා යොදා ගන්න.- මැහුමක් මහන්න
- නිර්මාණයක් කරන්න
- මල් පැළයකට සාත්තු කරන්න
- අලුත් කෑමක් සකස්කරන්න
- පොතක්, පත්තරයක්, සඟරාවක් කියවන්න
- සිංදුවක් අහන්න
- චිත්‍ර පටයක් බලන්න

- ආහාර පිසින විට ඔබ වඩාත් ප්‍රිය කරන යමක් පිළියෙල කරන්න
- නිවස අස්පස් කිරීමේදී ගෘහ භාණ්ඩයක් එහා මෙහා කරමින් වෙනසක් කරන්න. බිත්තියේ එල්ලා ඇති පින්තූරයක්, අලංකාරයට තබා ඇති සැරසිල්ලක් වුවද ප්‍රමාණවත්
- හැකි විට නැවුම් මල්, කොළ කිහිපයක් නිවසේ ඇතුලත තබන්න. අලංකාර මල් පැළයක් වුවද සුදුසුය.
- එකවර නිරත විය හැකි කාර්යන් එකවර කිරීමට උත්සාහ කරන්න. රූපවාහිනී නරඹන අතරතුර රෙදි නැවීම, ආහාර පිසින අතරම මුලුතැන්ගෙය පිරිසිදු කිරීම.
- නිවසේ කටයුතු අවසන් කිරීමෙන් පසු ඔබට කල හැකි යමක් ගැන සිතමින් වැඩ වල නිරත වන්න. කියවීම ඇරඹූ පොතක ඉතිරි කොටස කියවීම

12. දොරෙන් පිටුපස
සෑම කාන්තාවකටම තම දෛනික පිරිසිදු වීම් කටයුතු කර ගැනීම අතයාවශ්‍ය කටයුත්තක්. හැකිනම් මේ වේලාව තමා ගැන විශේෂ අවධානයක් යොමු කිරීමට යොදා ගන්න. ස්නානයට, ඇඟ සේදීමට පෙර තමාට විශේෂ සත්කාරයක් ලබා ගන්න හැකි නම් එයින් ඔබ සිතනවාට වඩා අලුත් ජීවිතයට උත්තේජනයක් ලබා දේවි.- හිසට තෙල් සාත්තුවක් සමඟ සම්භාහනයක් ලබා දෙන්න
- මුහුණට යම් ආලේපනයක් දැමීමට කාලය ගන්න
- අනවශ්‍ය රෝම ඉවත් කිරීමට අවස්ථාව ගන්න
- නිය කපා පිරිසිදු කර ගන්න. අවශ්‍ය නම් පා වල නිය ආලේපන යොදන්න
- යටිපතුල් අතුල්ලා පිරිසිදු කර ගන්න
- උණුසුම් ජලයෙන් ස්නානයක් ලබා ගන්න

13. තමා ගැනත් සැලකිලිමත් වෙන්න.
ඔබ, ඔබ ගැන නොතැකුවේ නම් අන් කිසිවෙක්ද ඔබ ගැන නොතකනු ඇත. එබැවින් ඔබේ වටිනාකම අන්අයටද දැනෙන, හැඟෙන ලෙස කටයුතු කරන්න.• ලෙඩක් ඇති වූ විට අවශ්‍ය ප්‍රතිකාර ලබා ගන්න - වෛද්‍යමය හෝ නිවසේදීම ගත හැකි යම් සුදුසු ප්‍රතිකර්මයක් නොපමාව ලබා ගන්න.
• තමාගේ වැඩ පහසු කර ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න.
• අවශ්‍ය විටක විවේකයක් ලබා ගැනීමට අවස්ථාව සලසාගන්න. - ආහාර වේලක් පිටතින් ලබා ගැනීම, නිවසේ යම් වැඩක් පසුවට කල් තැබීම.
• අවශ්‍ය විටක වෙනසක් ඇති කර ගන්න. - දින කිහිපයකට මවගේ නිවසට යාම.

අමතරව....
• සෑම විටම දරුවන් ඔසවා ගැනීමට, ඉණෙන් නැමීමට වඩා දණහිස් නැමීමෙන් වඩා ගන්න.• ඔබ වාඩි වී සිටින විට දරුවා නිසි ලෙස රඳවා තබා ගැනීමට, සැප පහසු, ආධාරක සහිත පුටුවක වාඩි වෙන්න.
• අමතරව පිටුපස ආධාරක සඳහා කොට්ටයක් භාවිතා කල හැකියි.
• දරුවා දුර බැහැරක රැගෙන යාමට අවශ්‍ය විට, ළදරුවාගේ බර ඒකාකාරව බෙදා හරින සහ ඔබේ බෙල්ලට හෝ පිටුපසට අපහසුතා ඇති නොකරන සුදුසු ළදරු බෑගයක්(baby carrier) හෝ වාහකයක්/කරත්තයක්(baby cart/stroller) සඳහා ආයෝජනය කරන්න.
• මව්කිරි ලබා දීමේදී මැණික් කටුවෙහි වේදනාව වළක්වා ගැනීම සඳහා, ඔබේ දරුවා රඳවා තබා ගැනීමට කොට්ටයක් භාවිතා කරන්න.
• දරුවාගේ බර දෙඅත් වලට හුවමාරු කරමින් වඩාගන්න.

Tʜɪs ᴀʀᴛɪᴄʟᴇ ɪs ᴡʀɪᴛᴛᴇɴ ʙʏ KalSwijesooriya ᴀᴜᴛʜᴏʀ @ KC and Baby K.
Rᴇʙᴜʙʟɪsʜɪɴɢ ᴡɪᴛʜ ᴀ Cᴏᴘʏ ᴏʀ Sᴄʀᴇᴇɴsʜᴏᴛs ɪs Nᴏᴛ Aʟʟᴏᴡᴇᴅ. Yᴏᴜ Mᴀʏ Sʜᴀʀᴇ Iɴsᴛᴇᴀᴅ.
Aʟʟ Rɪɢʜᴛs Rᴇsᴇʀᴠᴇᴅ © 2019 KC and Baby K ™
Play Now Casino Review | Up to €500 Bonus + 100 FS
ReplyDeleteClaim your €500 Casino Welcome Bonus. We 킹스 포커 have a detailed review of 스카이바카라 the casino's games and welcome 룰렛 배팅 bonus. Play now! Rating: 슬롯머신 무료 3.5 · Review 블랙 잭 전략 by Casino Roll