අපේ චූටි කථා පෙට්ටිය - Our little chatter box




චූටි පැටියා ගේ කථන හැකියාවේ ආරම්භය හා සංවර්ධනය.


උපන් මොහොතේ පටන් පුංචි කිරිකැටියාට අවශ්‍ය දේ ඔබෙන් ඉල්ලීමට කතා කරන්නටවත්, භාෂාව දැන ගන්නටවත් උවමනා නැති බව මාපිය ඔබට හොඳින් වැටහී ඇති. නමුත් දරුවෙකුගේ වර්ධනය නිසි ආකාරයෙන් සිදු වන බව තහවුරු කරගැනීමට නම් දරුවාගේ මුල් වචන වෙත අවධානය යොමු කිරීම අනිවාර්යයෙන්ම කල යුතුයි.
කිරිකැටි වයසේදී නම් පැටියාට අවශ්‍ය දේ දෙමාපියන්ට දැනෙන්නට එක ඉරියව්වක් ප්‍රමාණවත් එහෙමත් නැත්නම් සරලවම කියනවා නම් බබා ඇඬුවම හොඳටම ඇති. නමුත් දරුවා වැඩෙත්ම හැඟීම්, දැනීම්, අවශ්‍යතාවන්, ආදිය පැහැදිළිව ප්‍රකාශ කිරීමේ අවශ්‍යතාවක් දරුවාටද ඇති වන්නේ නිසි වයසට අදාළ සන්නිවේදන සංධිස්ථාන පසුකරමින්.



ශබ්දයෙන් ශබ්දය, වචන බවටත්, වචනයෙන් වචනය ටිකෙන් ටික අදහස් බවටත් හැරෙද්දී අහන් ඉන්න ආසයි. එයාලාටම ආවේණික උච්චාරණ රටාවක් ඇතිව දරුවන් අලුත් වචන ඉගෙන ගන්න අපුරුව ඛලන්න ලස්සනයි. දෙමාපියන්ට දරුවෙකුගේ පළමු වචනය ගීතයක් ලෙස හැඟෙන්නේ මේ නිසායි.
මේ සන්නිවේදන සංධිස්ථාන දරුවාගේ වයසට සාපේක්ෂව වර්ධනය සිදු වනවාද යන්න දැනගැනීමේ මිනුම් දණ්ඩක් ලෙස ක්‍රියා කරන අතර, දරුවකුගේ වයසට සාපේක්ෂව කථන සහ භාෂාමය සන්ධිස්ථාන වර්ධනය ගැන විමසිලිමත් වීම මගින් දරුවාට ඇතිවිය හැකි ගැටලුමය තත්ව කල් තියා හඳුනාගෙන, අවශ්‍ය නම් නිසි ප්‍රතිකාර වලට යොමු කරවීම කල හැකියි.



පහත දැක්වෙන්නේ ඇමෙරිකානු ජාතික සෞඛ්‍ය සංවිධානය විසින් ඉදිරිපත් කරන ලද, දරුවන් ගේ ක්‍රමානුකුල වර්ධනය තහවුරු කරන මිනුම් දණ්ඩක් ලෙස යොදා ගතහැකි සංධිස්ථාන කීපයක්.

වයස මාස 3 සම්පූර්ණ වන විට

  • ඔබ දුටු විට සිනාසෙයි
  • "කූ" ශබ්ද ඇති කරයි.
  • කථා කරන විට නිසොල්මන්ව අසා සිටී හෝ සිනාසෙයි.
  • ඔබේ හඬ හඳුනාගත හැකියි.
  • විවිධ අවශ්‍යතා සඳහා වෙනස් ආකාරවලින් හඬයි.


වයස මාස 6 සම්පූර්ණ වන විට

  • ඔබ සමඟ හෝ තනිව සෙල්ලම් කරන විට "ගර ගර" ලෙස ශබ්ද කරයි.
  • එකිනෙකට වෙනස් ආකාර කිහිපයක ශබ්ද ඇති කරයි.
  • සතුට හා දුක පෙන්නම් කිරීමට එකිනෙකට වෙනස් හඬ භාවිතා කරයි.
  • ශබ්ද ඇසෙන දිශාව අනුව ඇස් හෝ හිස හරවයි.
  • ඔබේ කටහඬෙහි ශබ්දය උස් පහත් වීම් හඳුනාගත හැකියි
  • ශබ්ද ඇතිකරන සෙල්ලම් බඩු වෙන්ව හඳුනයි.
  • සංගීත නාද වෙත අවධානය යොමු කරයි.


වයස මාස 12 සම්පූර්ණ වන විට

  • කථා කිරීමේ හඬ අනුකරණය කිරීමට උත්සාහ කරයි. උදා. යන්..යන්
  • වචන කිහිපයක් කීමට හැක. උදා. අම්මා, තාත්තා
  • සරල විධාන හඳුනාගනී. උදා. "මෙහෙ එන්න"
  • එදිනෙදා භාවිතා වන දේවල් කීපයක් නමින් හඳුනයි. උදා. සපත්තුව, තොප්පිය
  • ශබ්ද ඇතිවෙන දිශාවට හැරී බලා අවධානය යොමු කරයි.


වයස මාස 18 සම්පූර්ණ වන විට

  • සමීප කිහිප දෙනෙකුගේ ආමන්ත්‍රණය හෝ නම හඳුනයි. උදා. අත්තම්මා, අත්තා
  • ශරීරයේ අවයව කිහිපයක් හඳුනාගනී. උදා. හිස, ඇස, කන
  • සමීප ද්‍රව්‍ය කිහිපයක් හඳුනයි. උදා. ඇඳ, පිඟාන, කෝප්පය
  • සරල විධානයන් එහි අභිනයන් ද සමඟ හඳුනාගනී. උදා. ඔලුව වනා "මෙහෙ එන්න"
  • වචන 10 පමණ කීමට හැකියාව ඇත.


වයස මාස 24 සම්පූර්ණ වන විට

  • සරල වාක්‍ය ඛණ්ඩ කියයි. උදා. තව දෙන්න
  • වචන දෙක තුනක ප්‍රශ්නයක් ඇසීමට හැක. උදා. කොහෙද යන්නේ?
  • සරල විධාන වලට ප්‍රතිචාර දක්වයි. උදා. කෝප්පය ගේන්න
  • සරල පැනයන් හඳුනාගනී. උදා. බබාට බඩගිනිද?
  • වචන 50ක් පමණ කථා කිරීමට හැකියාව ඇත.
  • අවම ලෙස අඩක් හෝ තේරුම් ගැනීමට හැකි තරම් කථාකිරීමේ හැකියාව ඇත.


ඔබේ දරුවා ඔහුගේ හෝ ඇයගේ වයසට අදාල බොහෝ කථන හා භාෂා සංවර්ධන සන්ධිස්ථාන ප්‍රගුණ කර නොමැති නම් හෝ ඔබේ දරුවාගේ භාෂාමය සංවර්ධනය ගැන ඔබට හැඟෙන යම් ගැටලුකාරී තත්ත්වයක් ඇත්නම්, නොපමාව වෛද්‍ය උපදෙස් ගන්න.
ශ්‍රවණාබාධ හා වෙනත් සංවර්ධන ආබාධ ඇතුළු බොහෝ හේතු නිසා කථන ප්‍රමාදයන් සිදු වේ. තත්වයන් මත පදනම්ව, ඔබේ දරුවාගේ වෛද්‍යවරයා දරුවාව ශ්‍රවණ විශේෂයෙකු හෝ කථන භාෂා ව්‍යාධි විශේෂයෙකු වෙත යොමු කරනු ඇත.
මේ අතර, සෑම විටම දරුවා සමඟ ක්‍රියාකාරීව කථනයේ යෙදෙන්න. සංවාදාත්මකව කථනයට දරුවා උනන්දු කරන්න. වයසින් වැඩෙත්ම දරුවා සමඟ මනා සංනිවේදනයක් සඳහාත් එය උපකාර වනු නිසැකය.


  1. ඔබ කරන්නේ කුමක්ද?, ඔබ යන්නේ කොහේද? යන්න ගැන ඔබේ දරුවා සමඟ කතා කරන්න. දරුවාගෙන්ද විමසන්න.
  2. එක්ව ගීත ගායනා කරන්න.
  3. එකට කියවන්න.
  4. අභිනය සහිත ගීත ඛණ්ඩ ගායනය කරමින් අභිනය දක්වන්න. උදා. I am a little tea pot නරඹා බබාටත් උගන්වන්න.
  5. අත්පුඩි ගැසීම වැනි ක්‍රියා අනුකරණය කිරීමට දරුවා දිරි ගන්වන්න.
  6. සත්ව ශබ්ද අනුකරණය කිරීමට දරුවාට උගන්වන්න.
  7. ගණන් කිරීමට පුහුණු කරවන්න.
  8. දරුවා කතා කරන විට, ඔබ සතුටු බව ඔහුට පෙන්වන්න.
  9. ඔබේ දරුවාගේ හඬ ට සවන් දී ඒවා ඔහුට හෝ ඇයට නැවත කියන්න.
  10. ඔබ "ළදරු කතා විලාශ" භාවිතය හැකිතාක් අවම කරන්න.
  11. දරුවා ඔබව අනුකරණය කරමින් කතා කිරීමට ඉගෙන ගන්නා බව මතක තබා ගන්න.
  12. මෙම පියවර මඟින් ඔබේ දරුවාගේ කථනය සහ භාෂා සංවර්ධනය දිරිමත් කළ හැකිය.

අමතරව,
  • නිවැරදි කථා විලාශය දරුවාට කුඩා වයසේ සිටම ආදර්ශමත්ව උගන්වන්න.
  • මිහිරි, කාරුණික වචන භාවිතා කරන්න. දරුවන්ටත් පුරුදු කරන්න.
  • කරුණාකර, සමාවෙන්න (Please, sorry, excuse me) ආදි ප්‍රසන්න වචන භාවිතා කිරීමට මැලි නොවීමට දරුවන්ට කියාදෙන්න.


~මෙහි අන්තර්ගතය මා සතු පෞද්ගලික අත්දැකීම් ද, පොත පත අධ්‍යයනයෙන් හා අන්තර්ජාලය ඇසුරින් මා ලබා ගත් දැනුමද වන අතර, අවශ්‍ය විට සුදුසු වෛද්‍ය උපදෙස් ලබා ගැනීම ඔබ සතුය.~
Tʜɪs ᴀʀᴛɪᴄʟᴇ ɪs ᴡʀɪᴛᴛᴇɴ ᴀɴᴅ ᴄʀᴇᴀᴛᴇᴅ ʙʏ KalSwijesooriya ᴀᴜᴛʜᴏʀ @ KC and Baby K.
Rᴇʙᴜʙʟɪsʜɪɴɢ ᴡɪᴛʜ ᴀ Cᴏᴘʏ ᴏʀ Sᴄʀᴇᴇɴsʜᴏᴛs ɪs Nᴏᴛ Aʟʟᴏᴡᴇᴅ.
Yᴏᴜ Mᴀʏ Sʜᴀʀᴇ Iɴsᴛᴇᴀᴅ.
Aʟʟ Rɪɢʜᴛs Rᴇsᴇʀᴠᴇᴅ © 2019 KC and Baby K™

Comments

Popular posts from this blog

පැනයට පිළිතුරු 01 (Problem_Solving)

බබා ට කිරි වැඩිපුර..... More breast milk to ur infant

බුද්ධිමත් දරුවෙක් නිර්මාණය කරමු - Make Ur baby Intelligent