සහල් හා ආසනික්




බබාට දෙන්නේ බත් විතරද?


පහුගිය කාලේ අපේ රටේ කෘෂිකර්මාන්ත කටයුතු වැඩිපුරම සිදුකරන අනුරාධපුරය, පොලොන්නරුව, මින්නේරිය වගේ ප්රදේශ වල ඉතා වේගයෙන් පැතිර යන වකුගඩු ආශ්‍රිත රෝග තත්ව ගැන බොහෝ සෙයින් කථාබහට ලක් වුනා ඔබට මතක ඇති. වී වගාව ප්‍රධාන ලෙස සිදු කරන එම පලාත් වල ජලයේ ආසනික් නම් රසායන ද්‍රව්‍ය අඩංගු වීමයි මෙයට ප්‍රධානම හේතුව ලෙස සොයාගැනුනේ.

කොහොමද ආසනික් ජලයට එක් වුනේ?



හැමෝටම වගේ ප්‍රශ්නයක් වුන ඒ කාරණය ගැන විද්වතුන්ගේ පරීක්ෂණ ඇරඹෙන්නේ මින් පසුවයි. පරීක්ෂණ අවසානයේ නිගමනය කෙරුණේ වී වගාවට පොහොර හා කෘමිනාශක ලෙස යොදන රසායනික වර්ග වල ආසනික් අධික ප්‍රමාණයෙන් තිබීම නිසා එම පලාත් වල පානීය ජලයට අධික ලෙස ආසනික් එක් වී ඇති බවත් එමඟින් ඒ ප්‍රදේශවාසීන් එවැනි රෝග වලට ලක් වූ බවත්ය.



"එහෙම පලාත් වල නෙවේනේ අපි ඉතින් ඉන්නේ"
"අපෝ හොඳ වෙලාවට අපි පාවිච්චි කරන්නේ පෙරා ගත් (filtered) වතුර"
"බෝතල් කරපු (mineral) වතුර තමයි අපි නම් බබාට දෙන්නෙම"
ඒ නිසා බයක් නෑ....
ඒ දවස් වල ඒ පුවත කණ වැකුණු අපි හැමෝම බොහොම බියට සංකාවට පත් වුනත් අනෙක් සෑම කාරණයකදී වගේම ටික දවසකින් අපිට මෙන්න මේකත් අමතක වෙලා ගියා. 😟

ආසනික් ජලයේ පමණද?

වෙනත් ශාක වලට වඩා ආසනික් පහසුවෙන් අවශෝෂණය කර ගැනීමට සහල් ශාකයට හැකි බව ඔබ දන්නවාද? සහල් පැල එහෙමත් නැත්නම් අපි කවුරුත් කියන ගොයම් පැළ ඉතා පහසුවෙන් මේ ආසනික් උරා ගන්නවා. මේ විදිහට අවශෝෂණය වුන ආසනික් වී වල එහෙමත් නැත්තම් සහල් ඇට වලත් තැම්පත් වෙනවා.



එසේ නම්, කාලාන්තරයක් තිස්සේ, ඉතා අධික ප්‍රමාණයකින් රසායනික ද්‍රව්‍ය යෙදූ පොළවක, පසක, ජලයක සෑදෙන ගොයම් වල කෙතරම් ප්‍රමාණයක් මෙම ලෝහය අඩංගු ඇත්ද?
ඉතින් දවසට තුන් වේලක් හෝ අවම දෙවේලක් බත් පිඟානක්ම පුරවලා කෑමට ගන්න අපේ ශරීරයේ ආසනික් ප්‍රමාණය ශරීරයේ සාමාන්‍ය මට්ටමට වඩා ඉතාමත් අධික වන බව ඔබට වැටහෙනු ඇත.

මොනවාද මේ ආසනික් - Arsenic - (As)



ආසනික් යනු කාබනික හා අකාබනික ආකාර දෙකකින් යුත් බැර ලෝහයකි. බොහෝ ආහාර සහ පාන වර්ග වල විවිධ මට්ටම් වලින් මෙම ලෝහය අඩංගු වන අතර අනෙකුත් බැර ලෝහ මෙන්ම ආසනික්ද සාන්ද්‍රණය අධික වූ විටයි සෞඛ්‍ය ගැටලු ඇති කරන්නේ. ඒ වගේම, ආසනික් ස්වාභාවිකවම ජලය, පස සහ වාතය තුළ දක්නට ලැබෙන නමුත්, පතල් කැණීම, රසායනික පොහොර සහ පළිබෝධනාශක භාවිතය වැනි ක්‍රියාවලීන් පරිසරයේ අකාබනික ආසනික් මට්ටම ඉහළ නංවා ඇත.
මෙම අකාබනික ආසනික්, කාබනික ආසනික් වලට වඩා විෂ සහිත වන අතර වකුගඩු රෝග වලට අමතරව ඇතැම් පිළිකා ඇති කිරීමටත් හේතු වෙනවා. ආසනික් සඳහා වර්ධනයේ මුල් අවධියේදීම නිරාවරණය වීම නිසා දරුවගේ ඥාන වර්ධනයට අහිතකර බලපෑම් ඇති කරන අතර එය අඩු බුද්ධි මට්ටමක් (IQ) සහිත දරුවන් බිහි වීමට හේතු වේ.
ඇමෙරිකානු ආහාර හා ඖෂධ නියාමන කොමිෂන් සභාව (FDA) ට අනුව ගර්භණී සමයේදී, ළදරු අවධියේදී සහ මුල් ළමාවියේදී මෙලෙස අකාබනික ආසනික් වලට නිරාවරණය වීමෙන්ද සෞඛ්‍යයට අහිතකර බලපෑම් ඇතිවීමේ වැඩි අවදානමක් ඇති බවයි පෙන්වා දෙන්නේ.

බබාගේ බත් තලපයෙත්...???

පිළිතුර ඔව්!!!



සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ වී වගාව ඇතුලු සියලුම කෘෂි වගාවන්ට ඉතා අධිකව රසායනික ද්‍රව්‍ය යොදන බව අප හොඳින්ම දන්නා කරුණක්. මෙලෙස නිෂ්පාදනය කරන ලද සහල් වල ආසනික් අධි සාන්ද්‍ර වීමේ අවදානමද ඉතා ඉහලයි. ඒ නිසා අපි බබාට ලබා දෙන සහල් වලද එවැනි අවදානමක් තිබිය හැකියි.



කෙසේවුවත්, අපි බබාගේ බත් එක සකස් කරන්න තෝරා ගන්නා සහල් වර්ගය වගා කල ආකාරය මතයි මෙය ප්‍රධාන ලෙසම රදා පවතින්නේ. ඔබ ඒ සඳහා රසායනික ද්‍රව්‍ය නොයෙදූ හෝ අවම ලෙස යෙදූ සහල් තෝරා ගන්නේ නම් කිසිදු ගැටලුවක් නොවේ. ඒ බව ඔබ හොඳින් දන්නා ගොවි මහතෙකුගෙන් ලබා ගත හැකි නම් වඩාත් සුදුයි. එසේත් නැත්නම් වෙළඳපොලේ ඇති කාබනික පොහොර යොදා නිශ්පාදන කල විශ්වාසනීය සහල් වර්ගයක් තෝරා ගැනීමද කල හැක.

බත්... බත්... බත්....


ශ්‍රී ලාංකීය මව් වරුන් වන අප වෛද්‍ය අනුමතය මත අපේ කිරි කැටියන්ට මුලින්ම හඳුන්වා දෙන්නේ සහල්! ඒ වගේම ඔවුන්ට මුලු ජීවිත කාලය පුරාම බත් ආහාරයට ගැනීමටයි අපි පුරුදු පුහුණු කරන්නේ. තුන් වේලටම බත් කෑම ඉතාමත් සෞඛ්‍ය සම්පන්න බවයි ඇතැමුන්ගේ මතය.
සහල් තන්තුමය හා පෝෂණ ගුණයෙන් ඉතා ඉහල ධාන්‍යය වර්ගයක් වුවත් වාර්තමානයේ වාණිජ පරමාර්ථ පමණක් පෙරදැරී කරගත් ශ්‍රී ලාංකීය වෙළඳපොලේ ඇත්තේ විශ රසායනික ද්‍රව්‍ය වලට අමතරව, කල්තබා ගැනීමේ හැකියාව වැඩි කිරීම සඳහා පෙර සකස් කිරීමට ලක් කල(processed) සහල්ය.මේ නිසා වටිනා පෝෂක කොටස් බොහෝමයක් ඉවත් කෙරුණු කාබෝහයිඩ්‍රේට් පමණක් අඩංගු කිසිසේත් සෞඛ්‍ය සම්පන්න නොවන සහල් වේ.



එනම්, බුද්ධි වර්ධනයේ අඩාල කිරීම ඇතුලු, පසුකාලීන ජීවිතයේ නොයෙකුත් සෞඛ්‍ය ගැටලු ඇති කළ හැකි ආසනික් සහල් වල අධිකව අඩංගු වීම නිසා පමණක් නොව, විවිධ ක්‍රම ඔස්සේ බොහෝමයක් පෝෂණ ගුණ හානිකර නවීකරණය කරන ලද සහල් ප්රධාන ආහාරය යැයි කියමින් තුන් වේලටම ආහාරයට ගැනීම කිසිසේත් සුදුසු නොවේ.

කුඩා කිරිකැටි දරුවන්ට ලබා දීම ගැන කවර කතාද?

ඇමෙරිකානු ළමා රෝග පිළිබඳ ඇකඩමිය (AAP) ට අනුව, ළදරුවන් ඔවුන්ගේ බරට සමානුපාතිකව වැඩිහිටියන්ට මෙන් තුන් ගුණයකින් සහල් අනුභව කරයි. එනම් දරුවන්ට බත්ම ලබා දීමෙන් මෙම ගැටළුව වඩාත් උග්‍ර වේ.

සහල් වෙනුවට වඩා හොඳ විකල්ප තිබේද?

"ඉස්සර අපේ මුතුන්මිත්තන් තුන් වේලටම බත් කාලා තමා වැව්, දගැබ්, පවා හැදුවේ"

මෙන්න අපිට වැරදුණු තැන!

ඇත්තටම අපේ මුතුන්මිත්තන් තුන් වේලටම කෑවේ බත්ද?

නෑ!!!

ඇයි.... කුරහන්, බඩ ඉරිඟු, තල, මුං, මෙනේරි, කොල්ලු, කොස්, පොල්, පොලොස්, පලා???


එයයි අපේ පැරුන්නන් ගේ ශක්තියේ රහස. ඔවුන් ආහාර ගත්තේ විවිධාංගීකරණයක් ඇතුවයි.

වැල, වරකා, පැපොල් වැනි පළතුරු වර්ගත්, කොළකැඳ, රණවරා, පොල්පලා, ඉඟුරු කොත්තමල්ලි වැනි ඖෂධීය පානත් ඔවුන්ගේ එදිනෙදා ජීවිතයේම කොටසක් වුණා. එයයි ඔවීන්ගේ නීරෝගී බවේ රහස.
එසේ නම් අපේ දරුවන්ටත් එය පුරුදු කරමු.
ආරක්ෂිත පළමු ආහාර ලෙස බත්ම පමණක් නොව විවිධ ආහාර ලබා දෙන්න. වැඩි විස්තර සඳහා ලිපිය කියවන්න. වැඩි විස්තර සඳහා ලිපිය කියවන්න.
  • දරුවන්ගේ වර්ධනයට අතයාවශ්‍ය වන යකඩ, කැල්සියම්, විටමින් ආදි පෝෂණ සංඝටක බත් වලට වඩා මස්, මාලු, බිත්තර, එළවළු හා පලතුරු වල අඩංගු වේ. එවැනි ආහාර වලට මුල් තැන දෙන්න.
  • මස්, මාලු, බිත්තර, එළවළු හා පලතුරු වැඩිපුරත් කාබෝහයිඩ්‍රේට් මය ආහාර ප්‍රධාන ලෙස නොව සමබරවත් ආහාරයට ගැනීමට පුරුදු කරන්න.
  • සහල් පමණක් නොව මුංඇට, කඩල, කවුපි වැනි වෙනත් ධාන්‍ය වලින් සාදන ලද තලපය(cereal) ලබා දෙන්න.
  • දරුවන්ගේ ආහාර වේල් නිතර විවිධාංගීකරණයකින් යුතුව සකස් කර ගන්න. එකම ආහාරයක් දිගින් දිගටම දීමෙන් වලකින්න. (බත් වුවත්)
දැන් දැන් පර්යේෂකයන් විශ්වාස කරන්නේ දරුවන් මුල් අවධියේ සිටම විවිධාකාර රසයන්ට හුරු වීමෙන්, පසු කාලයේ ඕනෑම ආහාරක් තේරීමක් නොමැතිව ආහාරයට ගැනීම සිදු කරන බවයි.

අමතර දැනුමට:

1991 සිට ඇමෙරිකානු ළමා රෝග පිළිබඳ ඇකඩමිය (AAP) ආසනික් සඳහා ආහාර පරීක්ෂා කිරීම සිදු කරන අතර, ළදරුවන් සඳහා නිෂ්පාදනය කරන සහල් ආශ්‍රිත ආහාර වර්ගවල තිබිය හැකි අකාබනික ආසනික් ප්රමාණයට සීමාවක් පනවමින් 2016 වර්ෂයේ දී කෙටුම්පතක් ද ප්‍රකාශයට පත් කර ඇත. මෙය ජලයේ ආසනික් සඳහා ඇමෙරිකානු ආහාර හා ඖෂධ නියාමන කොමිෂන් සභාව (FDA) විසින් නියම කර ඇති සීමාවන් වැනි නීතිමය අවශ්‍යතාවයක් නොවන අතර ඇමෙරිකානු ළමා රෝග පිළිබඳ ඇකඩමිය (AAP) විසින් ඇමෙරිකානු ආහාර හා ඖෂධ නියාමන කොමිෂන් සභාව (FDA) මෙම යෝජිත සීමාවට සහයද දක්වයි.

~මෙහි අන්තර්ගතය මා සතු පෞද්ගලික අත්දැකීම් ද, පොත පත අධ්‍යයනයෙන් හා අන්තර්ජාලය ඇසුරින් මා ලබා ගත් දැනුමද වන අතර, අවශ්‍ය විට සුදුසු වෛද්‍ය උපදෙස් ලබා ගැනීම ඔබ සතුය.~
Tʜɪs ᴀʀᴛɪᴄʟᴇ ɪs ᴡʀɪᴛᴛᴇɴ ᴀɴᴅ ᴄʀᴇᴀᴛᴇᴅ ʙʏ KalSwijesooriya ᴀᴜᴛʜᴏʀ @ KC and Baby K.
Rᴇʙᴜʙʟɪsʜɪɴɢ ᴡɪᴛʜ ᴀ Cᴏᴘʏ ᴏʀ Sᴄʀᴇᴇɴsʜᴏᴛs ɪs Nᴏᴛ Aʟʟᴏᴡᴇᴅ.
Yᴏᴜ Mᴀʏ Sʜᴀʀᴇ Iɴsᴛᴇᴀᴅ.
Aʟʟ Rɪɢʜᴛs Rᴇsᴇʀᴠᴇᴅ © 2019 KC and Baby K™

Comments

Popular posts from this blog

පැනයට පිළිතුරු 01 (Problem_Solving)

බබා ට කිරි වැඩිපුර..... More breast milk to ur infant

බුද්ධිමත් දරුවෙක් නිර්මාණය කරමු - Make Ur baby Intelligent