පොඩ්ඩන් ට කෑම - Food Recipes for Kids

බබාට දෙන්න පහසුවෙන් හා ඉක්මනින් සෞඛ්‍යාරක්ෂිතව නිවසේදීම සකස්කර ගත හැකි ආහාර වට්ටෝරු කීපයක් ඔබ වෙනුවෙන්ම මෙතැනින්.


01. පෑන් කේක් (Pan Cake)
02. බනානා පෑන් කේක්(Banana Pan Cake)
03. ඕට්ස් පෑන් කේක් (Oats Pan Cake)
04. බිත්තර, කිරි පාන් (French Toast)
05. ඉඳි පේස්ට් (Date paste/syrup)
06. නට් බටර් (Nut Butter)
07. හබල පෙති
08. කොළ කැඳ
09. දිය රොටී (Savoury Crepe)
10. බැද ගත් එළවලු (Fried Veggies)
11. හුමාලයෙන් තැම්බූ එළවලු (Steamed Veggi Stir fry)
12. ඇපල් සෝස් (Applesauce)
13. බනානා බ්රෙඩ් (Banana Bread) - in rice cooker
14. සත් සහල් කිරි බත් සහ බේබි ලුණු මිරිස් (Baby milk rice and Salsa)
15. චීස් මැකරෝනි (Mac and cheese)
16. බිත්තර පුඩින් (Egg Pudding)
17. ආමන්ඩ් බටර් පුඩින් (Almond Butter Pudding)
18. මීට් බෝල්ස් (Meat Balls)



01. පෑන් කේක් (Pan Cake)


අවශ්‍ය ද්‍රව්‍ය

  • බිත්තර 1
  • තිරිඟු පිටි/ ආටා පිටි - පුරවා මේස හැඳි 2
  • ත්‍රි පෝෂ, cereal - පුරවා මේස හැඳි 1
  • ජලය හෝ දියර කිරි

කෑමට (අවශ්‍ය නම්)
පොල් පැණි, මේපල් සිරප්, ඉඳි සිරප්, චොක්ලට් සිරප්

මිශ්‍රණය සාදා ගැනීම

බිත්තරයක් වියලි බඳුනකට කර හොඳින් ගසා ගන්න.
තෝරා ගත් පිටි වර්ග ටික ටික එක් කරමින් කලවම් කරගන්න.
(අවුරුද්දට වැඩි දරුවන්ට සීනි ස්වල්පයක් එක් කල හැක)
අවශ්‍ය තරම් කිරි/ජලය එක් කරමින් මද ඝන හා හැන්දෙන් වැක්කෙරෙන තරම් දියාරු මිශ්‍රණයක් සාදා ගන්න.අඩිය නොඇලෙන පෑන් එකක් ගෙන රත් වෙන්නට තබා, එයට බටර් ස්වල්පයක් එක් කර බටර් දිය වූ පසු මිශ්‍රණයෙන් මේස හැන්දක් පෑන් එකට රවුමක් ආකාරයෙන් වත් කරන්න. මද ගින්නේ පෑන් කේක් එක මතුපිට තෙත ගතිය නැතිවන තෙක් පුලුස්සා ගන්න. පසුව අනෙක් පැත්ත හරවා ඒ පැත්තද මදක් දුඹුරු පැය වන තෙක් පුලුස්සා ගන්න.

02. බනානා පෑන් කේක් (Banana Pan Cake)


අවශ්‍ය ද්‍රව්‍ය

  • හොඳින් ඉඳුණු කෙසෙල් 1
  • බිත්තර 1
  • තිරිඟු පිටි හෝ ආටා පිටි - පුරවා මේස හැඳි 2
  • ජලය හෝ දියර කිරි

මිශ්‍රණය සාදා ගැනීම

ඉඳුණු කෙසෙල් ගෙඩිය ගෑරුප්පුවක් ආධාරයෙන් හොඳින් පොඩිකර ගන්න.
එයටම බිත්තරයක් එක් කර හොඳින් ගසා ගන්න.
තෝරා ගත් පිටි වර්ග ටික ටික එක් කරමින් කලවම් කරගන්න.
(අවුරුද්දට වැඩි දරුවන්ට සීනි ස්වල්පයක් එක් කල හැක)
අවශ්‍ය තරම් කිරි/ජලය එක් කරමින් මද ඝන හා හැන්දෙන් වැක්කෙරෙන තරම් දියාරු මිශ්‍රණයක් සාදා ගන්න.අඩිය නොඇලෙන පෑන් එකක් ගෙන රත් වෙන්නට තබා, එයට බටර් ස්වල්පයක් එක් කර බටර් දිය වූ පසු මිශ්‍රණයෙන් මේස හැන්දක් පෑන් එකට රවුමක් ආකාරයෙන් වත් කරන්න. මද ගින්නේ පෑන් කේක් එක මතුපිට තෙත ගතිය නැතිවන තෙක් පුලුස්සා ගන්න. පසුව අනෙක් පැත්ත හරවා ඒ පැත්තද මදක් දුඹුරු පැය වන තෙක් පුලුස්සා ගන්න.

03. ඕට්ස් පෑන් කේක් (Oats Pan Cake)


අවශ්‍ය ද්‍රව්‍ය

  • තෝරා ගත් ඕට්ස් වර්ගයක් මේස හැඳි 1
  • බිත්තර 1
  • තිරිඟු පිටි හෝ ආටා පිටි -  මේස හැඳි 1
  • ජලය හෝ දියර කිරි

මිශ්‍රණය සාදා ගැනීම

තෝරා ගත් ඕට්ස් වර්ගය පැකට්ටුවේ පරිදි සකස්කර ගන්න. (ක්ෂණික ඕට්ස් භාවිතා කරයි නම් එලෙසින්ම යොදා ගත හැක.)
බඳුනකට බිත්තරයක් එක් කර හොඳින් ගසා ගන්න.
තෝරා ගත් පිටි වර්ග ටික ටික එක් කරමින් කලවම් කරගන්න.
සාදාගත් ඕට්ස් මිශ්‍රණයද එක් කර හොඳින් ගසා ගන්න
(අවුරුද්දට වැඩි දරුවන්ට සීනි ස්වල්පයක් එක් කල හැක)
අවශ්‍ය තරම් කිරි/ජලය එක් කරමින් මද ඝන හා හැන්දෙන් වැක්කෙරෙන තරම් දියාරු මිශ්‍රණයක් සාදා ගන්න.අඩිය නොඇලෙන පෑන් එකක් ගෙන රත් වෙන්නට තබා, එයට බටර් ස්වල්පයක් එක් කර බටර් දිය වූ පසු මිශ්‍රණයෙන් මේස හැන්දක් පෑන් එකට රවුමක් ආකාරයෙන් වත් කරන්න. මද ගින්නේ පෑන් කේක් එක මතුපිට තෙත ගතිය නැතිවන තෙක් පුලුස්සා ගන්න. පසුව අනෙක් පැත්ත හරවා ඒ පැත්තද මදක් දුඹුරු පැය වන තෙක් පුලුස්සා ගන්න.
පැණි වර්ගයක් හෝ චීස්, බටර්, නට් බටර් වර්ගයක් සමඟ ආහාරයට ගත හැක.

04. බිත්තර, කිරි පාන් (French Toast)


අවශ්‍ය ද්‍රව්‍ය

  • පාන් පෙති 2,3
  • බිත්තර 1
  • දියර කිරි කෝප්ප 1/2
  • ගම්මිරිස් ස්වල්පයක්
  • බටර් තේ හැන්දක්

මිශ්‍රණය සාදා ගැනීම

වියලි බඳුනකට බිත්තරය එක් කර, ගෑරුප්පුවක් ආධාරයෙන් ගසා ගන්න.
එයටම දියර කිරි හා ගම්මිරිස් එක් කර නැවත ගසා ගන්න.
(අවුරුද්දට වැඩි දරුවන්ට සීනි ස්වල්පයක් එක් කල හැක)
පාන් පෙති කුඩා කැබලි වලට කපා ගන්න.
සාදා ගත් මිශ්‍රණයේ පාන් කැබලි පොඟවා ගන්න.අඩිය නොඇලෙන පෑන් එකක් ගෙන රත් වෙන්නට තබා, එයට බටර් ස්වල්පයක් එක් කර බටර් දිය වූ පසු පාන් කැබලි වල දෙපැත්තම මද ගින්නේ පුලුස්සා ගන්න.
බටර්, චීස්, පැණි වර්ගයක් හෝ සෝස් වර්ගයක් සමඟ ආහාරයට ගත හැකියි.

05. ඉඳි පේස්ට් (Date Paste/Syrup)


අවශ්‍ය ද්‍රව්‍ය

  • රට ඉඳි
  • ජලය ස්වල්පයක්

සාදාගන්නා ආකාරය

රට ඉඳි ඇට ඉවත් කර, බඳුනකට එක් කර, ජලය ස්වල්පයක් එක් කරන්න.
භාජනය ලිප මත තබා, රට ඉඳි මෘදු වන තෙක් උයා ගන්න.
ජලය සිඳී රට ඉඳි ක්‍රමයෙන් දිය වූ විට භාජනය ලිපෙන් ඉවත් කර රට ඉඳි මිශ්‍රණය නිවා ගන්න.
පසුව බ්ලෙන්ඩරයක් ආධාරයෙන් පේස්ට් එකක්/තලපයක් වන තරමට බ්ලෙන්ඩ් කර ගන්න.~ නටන ජලයේ සම්පූර්ණයෙන් බහා, ජීවාණුහරනය කර ගත් වියලි වීදුරු බඳුනකට එක් කර, හොඳින් වසා
ශීතකරණයේ දිගු කලක් තබා භාවිතා කල හැක.පාන්, ආප්ප වැනි ආහාර සඳහා තැවරුමක් ලෙසත්,
ආහාර වලට පැණි රස එක් කිරීමට අවශ්‍ය විටත්,
යොදාගත හැකි සෞඛ්‍යාරක්ෂිත රසකාරකයකි.

06. නට් බටර් (Nut Butter)


අවශ්‍ය ද්‍රව්‍ය

පහත ඇට වර්ග වලින් කැමති ඇට වර්ගයක්
  • ආමන්ඩ් - Almond
  • කජු - Cashew
  • පිස්ටාෂියෝ - Pistachio
  • රටකජු - Peanut
  • හේසල් නට් - Hazelnut
  • වෝල්  නට් - Walnut
ආමන්ඩ් බටර් සකස්කර ගන්නා ආකාරය මෙතනින් බලන්න.
ඒ ආකාරයෙන්ම පීනට්/ පිස්ටා/කැෂූ වැනි වෙනත් වියලි ඇට වර්ග යොදා ගෙනද නට් බටර් වර්ග පිලියෙල කර ගත හැක.
~ සැලකිය යුතුයි.
පීනට්/ රටකජු ආසාත්මික විය හැකි ආහාරයක් බැවින් පලමුව ලබා දීමේදී දින 3 ආසාත්මිකතා පරීක්ෂණය සිදුකිරීමට වග බලාගන්න.

07. හබල පෙති


අවශ්‍ය ද්‍රව්‍ය

  • හබල පෙති මේස හැඳි 2/3
  • නටවා ගත් ජලය
කැමති නම්;
  • පොල්
  • පළතුරු වර්ගයක්
  • නට් බටර්

සාදාගන්නා ආකාරය

හබල පෙති සෝදා නටන ජලය එක් කර විනාඩි කිහිපයක් වසා තබන්න.
ජලය හොඳින් පෙරා ඉවත් කර ගන්න. අවශ්‍ය නම් මිරිකා ඉවත් කරන්න.
පොල් හා කැමති පලතුරු/වියලි පලතුරු/ඇට වර්ගයක්/නට් බටර් එක් කර ආහාරයට ගත හැකියි.
(අවුරුද්දට වැඩි දරුවන්ට සීනි, ලුණු ස්වල්පයක් එක් කල හැක)

08. කොළ කැඳ


අවශ්‍ය ද්‍රව්‍ය

  • කොළ කැඳ සෑදීමට ගන්නා කොල වර්ගයක් හෝ කීපයක් (බබාට පහසුවෙන් බීමට හැකි)
  • සුදු ලූණු
  • ඉඟුරු
  • ගා ගත් පොල්
  • උණු ජලය

සාදාගන්නා ආකාරය

තෝරා ගත් කොළ වර්ගය හොඳින් සෝදා, ජලය බේරා ගන්න.
බ්ලෙන්ඩර් කප් එකට කොල වර්ගය හා පොල් මාරුවෙන් මාරුවට එක් කර හොඳින් බ්ලෙන්ඩ් කරන්න.
මිශ්‍රණය මිරිකා හොඳින් යුෂ පෙරා ගන්න.
තලා ගත් ඉඟුරු, සුදු ලූණු ද සමඟ යුෂ මිශ්‍රණය ලිප තබා හැඳි ගාමින් උතුරවා ගන්න.
(කොල පැහැය වෙනස් වීමට ඉඩ නොදීම වැදගත්. ඒ සඳහා වැඩි වේලාවක් උතුරවා ගැනීමෙන් වලකින්න. උතුරවා ගත් පසු ලිප මතින් ඉවත් කර ගන්න.)

09. දිය රොටී (Savoury Crepe)


අවශ්‍ය ද්‍රව්‍ය

  • බිත්තර 1
  • තිරිඟු පිටි හෝ ආටා පිටි මස හැඳ 3/4
  • ගම්මිරිස් ස්වල්පයක්
  • කරපිංචා, කොත්තමල්ලි කොල
  • ජලය හෝ දියර කිරි

සාදාගන්නා ආකාරය

බිත්තරය හොඳින් ගසා ගන්න. එයටම පිටි වර්ගය ටික ටික එක් කරමින් හොඳින් කලවම් කරගන්න
ජලය හෝ දියර කිරි එක් කරමින් දියාරු මිශ්‍රණයක් සකස් කර ගන්න.
අවසානයේ ගම්මිරිස් හා කුඩාවට කපා ගත් කරපිංචා හා කොත්තමල්ලි කොල එක් කර ගන්න.අඩිය නොඇලෙන පෑන් එකක් ලිප තබා බටර් හෝ තෙල් ස්වල්පයක් එක් කර රත් කර ගන්න.
සාදා ගත් මිශ්‍රණයෙන් මේස හැන්දක් එක් කර හැන්දේ යටි පැත්තෙන් රවුමට සකස් කර ගන්න.
මතු පිට තෙත ස්වභාවය නැති වූ විට අනෙක් පස හරවා දෙපැත්තම පුලුස්සා ගන්න.මැදට කැමති පිරවුමක් හෝ තැවරුමක් (නට් බටර්, චීස්, බටර්) එක් කර ආහාරයට ගත හැකියි.

10. බැද ගත් එළවලු - Fried Veggies


අවශ්‍ය ද්‍රව්‍ය

පහත එළවලු වලින් කැමැති එළවලු වර්ග කීපයක්
  • අර්තාපල් - Potato
  • බතල/ කැරට් බතල - Sweet Potato
  • වට්ටක්කා - Pumpkin
  • බටානා - Butternut squash
  • තක්කාලි - Tomato
  • මෑ කරල් - long beans
  • කැරට් - Carrot
බැදීමට
  • පොල් තෙල් හෝ
  • ගිතෙල්

සාදාගන්නා ආකාරය

තෝරා ගත් එළවලු හොඳින් සොදා, අවශ්‍ය නම් පිටත පොත්ත ඉවත් කර, තුනී පෙති හෝ තීරු ආකාරයෙන් කපා ගන්න.
ටිෂූ පිස්නයක් ආධාරයෙන් කපා ගත් එළවලු වල තෙත මාත්තුකර ගන්න.
නොගැඹුරු පෑන් එකක තෙල් ස්වල්පයක් රත් වෙන්නට තබන්න.
රත් වූ තෙල් මතට කපා ගත් එළවලු පෙති දමා දෙපැත්තම බැද ගන්න. එළවලු වල මෘදු ස්වභාවයක් තිබිය දී, තෙලෙන් ඉවත් කර ගන්න.

11. හුමාලයෙන් තැම්බූ එළවලු - Steamed Veggi Stir fry


අවශ්‍ය ද්‍රව්‍ය

පහත එළවලු වලින් කැමැති එළවලු වර්ග කීපයක්
  • වට්ටක්කා - Pumpkin
  • බටානා - Butternut squash
  • බෝංචි - Beans
  • ගෝවා - Cabbage
  • කැරට් - Carrot
  • මල් ගෝවා - Coli flower
  • බ්රොකලි - Broccoli
හා
  • බටර්
  • ගම්මිරිස්

සාදාගන්නා ආකාරය

තෝරා ගත් එළවලු සෝදා පිරිසිදු කර තරමක් විශාල කැබලි වලට කපා ගන්න.
හුමාලයෙන් තැබීමට යොදා ගන්නා භාජනයක් (Steamer) ගෙන එළවලු සියල්ල මෘදු වන තෙක් තම්බා ගන්න.අඩිය නොඇලෙන පෑන් එකක් රත් වන්නට තබා, බටර් එක් කරන්න.බටර් දිය වූ පසු තම්බා ගත් එළවලු එක් කර, බටර් හොඳින් තැවරෙන පරිදි මදක් තෙම්පරාදු කර ගන්න.
ගම්මිරිස් කුඩු ස්වල්පයක් ඉස ලිපෙන් ඉවත්කර ගන්න.
(අවුරුද්දට වැඩි දරුවන්ට ලුණු ස්වල්පයක් එක් කල හැක)

12. ඇපල් සෝස් - applesauce


අවශ්‍ය ද්‍රව්‍ය

  • ඉඳුණු ඇපල් 1
  • ජලය කෝප්ප 1/2
  • ලෙමන් හෝ දෙහි ඉස්ම
  • කුරුඳු කුඩු
(අවුරුද්දට වැඩි දරුවන්ට සීනි,ලුණු ස්වල්පයක් එක් කල හැක)

සාදාගන්නා ආකාරය

ඇපල් ගෙඩියේ පොත්ත ඉවත් කර, සාමාන්‍ය තරම් කැබලි වලට කපා ගන්න.
කපා ගත් කැබලි බඳුනක බහා, කුරුඳු කුඩු ද එක් ජලය එක් කර ඇපල් මෘදු වන තෙක් තම්බා ගන්න. (වාශ්පයෙන් තම්බා ගත හැකි නම් වඩාත් සුදුසුයි)
ලිප නිවා ලෙමන් ස්වල්පයද එක් කර මිශ්‍රණය හොඳින් පොඩිකර ගන්න. (අවශ්‍ය නම් බ්ලෙන්ඩර් එකක් ආධාරයෙන් ද පොඩි කර ගත හැක.)~ නටන ජලයේ සම්පූර්ණයෙන් බහා, ජීවාණුහරනය කර ගත් වියලි වීදුරු බඳුනකට එක් කර, හොඳින් වසා ශීතකරණයේ දිගු කලක් තබා භාවිතා කල හැක.පාන්, ආප්ප වැනි ආහාර සඳහා තැවරුමක් ලෙසත්,
යෝගට්, අයිස්ක්‍රීම් වැනි ආහාර සඳහා topping එකක් ලෙසත්,
අතුරුපසක් හෝ කෙටි ආහාරයක් ලෙස වුවත් සුදුසුයි.

13. බනානා බ්රෙඩ් (Banana Bread) - රයිස් කුකර් එකේ


අවශ්‍ය ද්‍රව්‍ය

  • හොඳින් ඉදුණු ලොකු කෙසෙල් ගෙඩි 2
  • බිත්තර 2
  • සීනි කෝප්ප 1/2
  • කිරි කෝප්ප 1/2
  • වැනිලා තේ හැඳි 1
  • තිරිඟු පිටි කෝප්ප 1 1/2
  • එළවලු තෙල් කෝප්ප 1/4
  • බේකින් පවුඩර් තේ හැඳි 1
  • බේකින් සෝඩා තේ හැඳි 1

තැටිය සැකසීම.

පාන් සෑදීමට ගන්නා තැටිය (අඟල් 9 x 5 x 2-1/2) තෙල් කඩදාසි වලින් ආවරනය කර බටර් ආලේප කර සකස් කර ගන්න.
(රයිස් කුකර් එක තුල තැබිය හැකි කුඩා රවුම් මදක් උස තැටියක් -වියතක් පමණ විෂ්කම්භය ඇති- වුවද ප්‍රමාණවත්. එයද ඉහත පරිදිම සකස්කර ගත යුතුයි.)

සාදාගන්නා ආකාරය

කෙසෙල් ගෙඩි ගෑරුප්පුවක් ආධාරයෙන් හොඳින් පොඩිකර ගන්න.
බිත්තර වියලි බඳුනකට එක් කර හොඳින් ගසා ගන්න. එයටම සීනි හා තෙල් ද එක් කර සීනි දිය වන තුරු ගසා ගන්න. වැනිලා හා කිරි එක් කර ගන්න.
පොඩි කල කෙසෙල්ද එයට එක් කර හොඳින් මිශ්‍ර කරගන්න.
පිටි වලට බේකින් පවුඩර් හා බේකින් සෝඩා එක් කර හලා ගන්න.
පෙර සාදා ගත් දියර මිශ්‍රණයට, පිටි මිශ්‍රණය ක්රමයෙන් එක් කරමින් හොඳින් කලවම් කරගන්න.
මිශ්‍රණය සකස්කර ගත් තැටියට දමා, විනාඩි 50-55ක් හුමාලයෙන් තම්බාගන්න. (මේ සඳහා රයිස් කුකර් එක පහසුවෙන් භාවිතා කල හැක.)
හරි මැද toothpick එකක් ආධාරයෙන් පරීක්ෂා කර ඇලෙන සුළු බව නැති නම් කේක් එක පිටතට ගෙන නිවා ගන්න.

14. සත් සහල් කිරි බත් සහ බේබි ලුණු මිරිස් - Baby milk rice and Salsa

අවශ්‍ය ද්‍රව්‍ය

  • සත් සහල් (සුවදැල්, පච්චපෙරුමාල්, ඕලු, තණ, කොල්ලු, මෙනේරි, මඩතවාලු)
  • ජලය
  • කිරි (පොල් කිරි හෝ දියර කිරි)
  • චීස්
  • රම්පෙ, කුරුඳු, එනසල්, කරාඹුනැටි

සාදාගන්නා ආකාරය

සත් සහල් රැයක් පොඟවා ගන්න.
සහල් සෝදා, රම්පෙ හා සුවඳ ද්‍රව්‍ය එක් කර තම්බා ගන්න.
ජලය සිදෙන විට කිරි එක් කර බෙරි වන තෙක් උයා ගන්න.
ලිපෙන් බාගත් පසු චීස් එක් කරන්න.

ලුණු මිරිස්(Salsa)


අවශ්‍ය ද්‍රව්‍ය

  • රතු ලූණු
  • තක්කාලි
  • ගම්මිරිස්
  • හාල්මැස්සන් කුඩු
  • දෙහි
  • ගොටුකොළ/කොත්තමල්ලි කොළ

සාදාගන්නා ආකාරය

රතු ලූණු, තක්කාලි, ගොටුකොළ/කොත්තමල්ලි කොළ ඉතා කුඩාවට කපා ගන්න.
එයට ගම්මිරිස්, දෙහි හා හාල්මැස්සන් කුඩු ද එක් කර හොඳින් කවලම් කර ගන්න.
(අවුරුද්දට වැඩි දරුවන්ට ලුණු ස්වල්පයක් එක් කල හැක)

15. චීස් මැකරෝනි (Mac and Cheese)


අවශ්‍ය ද්‍රව්‍ය

  • මැකරෝනි පැස්ටා
  • තෙල් ස්වල්පයක්
  • චීස්
  • බටර්
  • කෝන් පිටි/තිරිඟු පිටි
  • දියර කිරි
  • ගම්මිරිස්

සාදාගන්නා ආකාරය

නටන ජලයට පැස්ටා හා තෙල් එක් කර තම්බා ගන්න. (අවුරුද්දට වැඩි දරුවන්ට ලුණු ස්වල්පයක් එක් කල හැක)
පෑන් එකක් රත් කර එයට බටර් එක් කරන්න. බටර් දිය වූ පසු පිටි එක් කර කලවම් කරමින් මදක් උයා ගන්න. සෙමින් දියර කිරි එක් කර ඝන මිශ්‍රණයක් සකස් කර ගන්න. ලිපි නිවා චීස් හා ගම්මිරිස් එක් කර ගන්න. එයටම පෙරාගත් පැස්ටා එක් කර හොඳින් මිශ්‍ර කරන්න. කැමති චීස් වර්ග එක් කරගන්න.

16. බිත්තර පුඩින් (Egg Pudding)


අවශ්‍ය ද්‍රව්‍ය

  • බිත්තර 1
  • දියර කිරි 60ml
  • කුරුඳු කුඩු පිංචක්
  • වැනිලා එසන්ස් බිංදු කීපයක්
(අවුරුද්දට වැඩි දරුවන් ට සීනි හෝ හකුරු එක් කල හැක)

සාදාගන්නා ආකාරය

බිත්තරය වියලි බඳුනකට දමා විස්ක් එකක් ආධාරයෙන් ගසා ගන්න. පෙණ ඇති නොවන සේ ගැසිය යුතු බැවින් විස්ක් එක භාජනයේ අඩියෙන් එස නොවෙන සේ ගසාගන්න.
කිරි එක් කර නැවත ගසා ගන්න.
අවසානයේ වැනිලා හා කුරුඳු කුඩු එක් කරන්න.
ඇතුලත බටර් තවරා ගත් බඳුනකට මිශ්‍රණය දමා හුමාලයෙන් තම්බා ගන්න.

17. ආමන්ඩ් බටර් පුඩින් (Almond Butter Pudding)


අවශ්‍ය ද්‍රව්‍ය

  • ඉඳුනු කෙසෙල් 1
  • යෝගට් තේ හැඳි 3
  • ආමන්ඩ් බටර් තේ හැඳි 1
  • කුරුඳු කුඩු ස්වල්පයක්

සාදාගන්නා ආකාරය

සියල්ලුම ද්‍රව්‍ය එකට දමා බ්ලෙන්ඩ් කර ගන්න.
රසවත් හා ගුණවත් පුඩින් එකක් ලෙස ශීතකරණයේ දින 3ක් තබා ගත හැක.

18. මීට් බෝල්ස් (Meat Balls)


අවශ්‍ය ද්‍රව්‍ය

  • හොඳින් අඹරා ගත් කැමති මස් වර්ගයක් 500g පමණ
  • බිත්තර 1
  • පාන් කුඩු කෝ. 1/2
  • චීස් කෝ. 1/4
  • ඉතා කුඩාවට කපාගත් ඉඟුරු, සුදුළූණු
  • ඉතා කුඩාවට කපාගත් පාස්ලි/කොත්තමල්ලි/සැල්දිරි කොළ ස්වල්පයක්
  • ගම්මිරිස් ස්වල්පයක්
(වයස අවුරුද්ද ට වැඩි දරුවන් ට ලුණු ස්වල්පයක් එක් කරන්න)

සාදාගන්නා ආකාරය

ඉහත සියලු ද්‍රව්‍ය බඳුනකට එක් කර හොඳින් එකතු වන ලෙස අනා ගන්න.
සාමාන්‍ය ප්‍රමාණයේ බෝල සාදා ගන්න.

පිසින ආකාරය 1 - නොගැඹුරු තෙලේ

පෑන් එකකට තෙල් ස්වල්පයක් එක් කර එක් පැත්තක් විනාඩි 5 බැඟින් සෑම පැත්තක්ම රන්වන් දුඹුරු පැහැ වන තෙක් බැද ගන්න.

පිසින ආකාරය 2 - ගැඹුරු තෙලේ

හොඳින් රත් වූ ගැඹුරු තෙලේ රන් වන් පැහැ වන තෙක් බැද ගන්න.

පිසින ආකාරය 3 - බේක් කිරීම

400°F ට පෙර රත් කල උඳුනක විනාඩි 15-20 බේක් කර ගන්න.
මෙසේ බේක් කල මීට් බෝල්ස් අධිශීතකරණයේ, සුලං නොවදින සුරුමක් තුල බහා, මාස 3ක් පමණ කල්තබා ගත හැක.

~මෙම සියලුම ආහාර වට්ටෝරු මා පෞද්ගලිකව
අත්හදාබැලීම් කර, සකස්කල ආහාර වට්ටෝරු වන අතර සියලුම ආහාර මගේ පුතුටද සකස්කර ලබා දෙන ආහාර වේ.~

Tʜɪs ᴀʀᴛɪᴄʟᴇ ɪs ᴡʀɪᴛᴛᴇɴ ᴀɴᴅ ᴄʀᴇᴀᴛᴇᴅ ʙʏ KalSwijesooriya ᴀᴜᴛʜᴏʀ @ KC and Baby K.
Rᴇʙᴜʙʟɪsʜɪɴɢ ᴡɪᴛʜ ᴀ Cᴏᴘʏ ᴏʀ Sᴄʀᴇᴇɴsʜᴏᴛs ɪs Nᴏᴛ Aʟʟᴏᴡᴇᴅ.
Yᴏᴜ Mᴀʏ Sʜᴀʀᴇ Iɴsᴛᴇᴀᴅ.
Aʟʟ Rɪɢʜᴛs Rᴇsᴇʀᴠᴇᴅ © 2019 KC and Baby K™

Comments

Popular posts from this blog

පැනයට පිළිතුරු 01 (Problem_Solving)

බබා ට කිරි වැඩිපුර..... More breast milk to ur infant

බුද්ධිමත් දරුවෙක් නිර්මාණය කරමු - Make Ur baby Intelligent