දරුවන්ගේ නොසංසුන්කාරී හැසිරීම් සාර්ථකව හික්මවන්නේ කෙසේද? How to handle tantrums of kids



සමහර දඟ පැටව් මොන දේටත් මෙහෙම කියාගත්ත ගමන්මයි.

• කෑම කන්න ගියාමත්,

• වාහනයට නඟින්න ගියත්,

• වාහනයෙන් බහින්න වුනත්,

• නිදා ගන්න ගියාමත්,

• උදේට ඇහැරෙන්න උනාමත්,

හැමදේම ප්‍රතික්ෂේප කරන දරුවන් සුලභයි.
ඒ වගේම;

• එකම ඇඳුම විතරක් හැමදාම අඳින්න ඕනි වෙන

• එකම කෑම වර්ගය විතරක් කන්න ඉල්ලන

පොඩ්ඩොත් ඉන්නවා.



දවසේ කුමන හෝ වේලාවකදී, එහෙමත් නැත්නම් කුමන හෝ වැඩකදී ඔබේ දරුවාත් ඔබ සමඟ එකඟ නොවී මෙසේ සටන් කරනවා විය හැකියි. එසේ නම්, ඔබත් බොහෝම කනස්සල්ලටත්, කම්පාවටත් පත්ව සිටිනවා නිසැකය. කණගාටු නොවන්න. ඒ ඔබේ දරුවා පමණක් නොවේ. මෙවැනි අවස්ථාවලට මුහුණ දෙන්නේ ඔබ පමණක් නොවේ.



ඔබ බොහෝ අපහසුතාවටත්, කනස්සල්ලටත් පත් වන මෙවැනි අවස්ථා වලින් මිදෙන්නේ කෙසේද?
ඒ සඳහා සාර්ථක විසඳුම් මොනවාද?
දරුවා අපහසුතාවට පත් නොකර එවැනි අවස්ථා මඟ හරවාගන්නේ කෙසේද?

ලොව පුරා මව් වරුන් මෙවැනි අවස්ථා වලදී ගත් සාර්ථක පියවර ගැන අපි මින් දැනුවත් වෙමු. ඔබත් මෙවැනි ක්‍රියාමාර්ග දැනටමත් ගන්නවාදැයි බලන්න.
මෙම ලිපියෙන් ඔබට පහත ආකාරයේ ගැටලුකාරී අවස්ථා සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳ දැනුවත් විය හැකිය.

01. ඇඳුම් ඇඟලීමට ප්‍රතික්ෂේප කිරීම.
02. ඇඳෙන් නැගිටීමට ප්‍රතික්ෂේප කිරීම.
03. උදේ කෑම අතපසු කිරීම හෝ පමා කිරීම.
04. ගෙදරින් එලියට යාම ප්‍රතික්ෂේප කිරීම.
05. කාර් එකට නැඟීම, කාරයේ ආසනයේ හිඳ ගැනීම, සීට් බෙල්ට් පැළදීම ප්‍රතික්ෂේප කිරීම.
06. මඟ තොටේදී, පිරිසක් ඉදිරිපිට, පොදු ස්ථාන වලදී, කලබල ඇති කිරීම, හැඬීම, කරදර කිරීම හා අපහසුතාවයට පත් කිරීම.
07. ආහාර ගැනීම ප්‍රතික්ෂේප කිරීම හෝ ආහාර සම්බන්ධයෙන් මැසිවිලි නැගීම.
08. නෑමට මැලි වීම.
09. නින්දට යාමට ප්‍රතික්ෂේප කිරීම.


01. ඇඳුම් ඇඟලීමට ප්‍රතික්ෂේප කිරීම.



දරුවන්ට ඇති ආදරය නිසාම අපි දකින දකින ලස්සන දේ මිල දී ගන්න පෙළඹෙන්නේ නිතැතින්. ඇඳුම් ආයිත්තම් ඒ අතරින් ප්‍රධානයි.
එහෙම ආසාවෙන්, අධික මුදලක්ද වියදම් කරමින් මිල දී ගත් ලස්සන ඇඳුම බබා අඳින්න බෑ කිව්වම?
එහෙමත් නැත්නම්, ලස්සන රතු පාට ගවුමට කොල පාට සෙරෙප්පු දාන්න ඉල්ලන විට?
ලංකාවේ නම් බොහෝ මව් වරුන් කරන්නේ බබාට සැර කරලා හෝ බබා අඬද්දිම හෝ බලෙන්ම අන්දවන එක. ඒත් ඔබේ ආශාව ඉටු කර ගැනීමට දරුවාගේ මානසිකත්වය හානි කිරීමෙන් ඔබට ලැබෙන්නේ කුමක්ද? මානසික තැවුලට පත් දරුවෙක්? මෙවැනි කුඩා සිදුවීම් වුවත් දරුවන්ගේ මානසිකත්වය බිඳ හෙලීමට ප්‍රමාණවත්.



එසේ නම් මෙවැනි විටෙක කල හැක්කේ මොනවාද?
  • බබාට ඇඳුම් ගන්න යන විට බබාවත් එක්ක යන්න. එයාගේ කැමැත්ත අනුව බබාට පෙන්වමින් මිල දී ගැනීමට උත්සාහ කරන්න. එයාගේ කැමති වර්ණ, රූප, ආදිය තිබෙනවා නම් ඒවාට මුල් තැන දෙන්න.
  • පෙර පාසලට, විශේෂ ගමනක් යාමට ඇති විට පෙර දවසේ බබාට පෙන්වමින් ඇඳුම් සූදානම් කර තබන්න.
  • තෝරාගැනීමට ඇති ප්‍රමාණය සීමා කරන්න.
"මගේ පුතා තියෙන්නේ සපත්තු වර්ග දෙකයි. ඒ හොඳටම ඇති. මටත් කරදරයක් නැහැ."
"මම නම් සතියට හරියන්න විතරක් ඇඳුම් එලියෙන් තියනවා. එයාට කැමති එකක් තෝරගෙන අඳින්න ඉඩ දෙනවා"
"මම නම් දරුවො අඳින ඇඳුම ගැන හිතන්නේ නැහැ. කාලගුණයටයි. එයා එදා දවසේ කරන වැඩේටයි ඇඳුම ගැලපෙනවා නම් මම සලකන්නේ එච්චරයි"
"මම ඇඳුම් අඳින්නෙත් එයා එක්කමයි. අපි කවුද ඉස්සෙල්ලම අඳින්නේ බලන්න තරඟයටයි කරන්නේ."
"අත්තම්මා හිතයි ඔයාට තනියම ඇඳුම් අඳින්න බෑ කියලා. අපි අත්තම්මාට පේන්න අඳිමු.... ඒක තමා මගේ විසදුම."


02. ඇඳෙන් නැගිටීමට ප්‍රතික්ෂේප කිරීම.



ප්‍රථමයෙන් දරුවාට ප්‍රමාණවත් නින්දක් ලැබේදැයි සලකා බලන්න.
පෙර රාත්‍රියේ ප්‍රමාද වී නින්දට ගියේ නම් එසේ නැඟිටීමට මැලිවීම නොසලකන්න. නොඑසේ නම්, රාත්‍රී නින්දට යන වේලාව කලින් අරඹන්න.
මේ ලොව පුරා මව්වරුන් මෙවැනි අවස්ථා වලදී ක්‍රියා කල ආකාරයි.

"කිති කවමින් ඇහැරවන්න. දිගින් දිගටම සිඹිමින් කරදර කරන්න. මං කරන්නේ එහෙම."
"මම නම් සද්දෙන්, අමිහිරි ලෙස ගීයක් ගයනවා. ඔවුන් ඇහැරෙන තුරු නොනවත්වන බව පැවසූ විට ඔවුන් නැඟිටිනවා"
"මම වගේ ඇඳ මතට පනිමින් කරදර කරන්න. පෙරවන ඉවත්කරමින් බාධා කරන්න."
"වේග සංගීතයක් ක්‍රමයෙන් ශබ්දය වැඩිකරමින් වාදනය වීමට සලස්වන්න. ඔවුන්ට එය හිරිහැරයක් වී නැඟිටීවි"
මේ සියල්ල විනෝදයක් පිඹිදීමක් ඇති වන පරිදි සිදු කිරීමට වග බලා ගන්න. දරුවන්ටත් ඔබටත් දවසට හොඳ ආරම්භයක් බවට පත් වන ලෙස කටයුතු කරන්න.

03. උදේ කෑම අතපසු කිරීම හෝ පමා කිරීම.



දවසේ වැදගත්ම ආහාර වේල තමා උදෑසන ආහාරය. ඒකනේ උදේට රජෙක් වගේ කන්න කියලා කියන්නෙත්. ඒත් උදේට තියන වැඩත් එක්ක කලබලයට බොහෝ දෙනෙක් අතපසු කරන හෝ පමා කරන ආහාර වේලත් මේකම තමා. ඒත් එක්කම එහෙම අමාරුවෙන් හදපු කෑම එක බබා කන්න අදිමදි කරන විට...
මේකට නම් කරන්න තියෙන පහසුම දේ තමා උදේ ආහාරය නිවසේ සියලු දෙනා එක්ව ගන්නා එක. එහෙමත් නැත්තම් මඟදි කන්න ගෙනියන එක.



"අපේ ගෙදර නම් තාත්තා කලින් ලෑස්ති වෙලා ඔක්කොටම කවනවා. අනිත් අයත් එයාලාගේ වැඩ අස්සේ නිකන්ම කාලා."
"මම නම් කරන්නේ උදේ කෑම එක වෙනමම ලෑස්ති කරලා ගෙනියන්න දෙන එක. එයාගේ යාලුවෝත් එක්ක බෙදාගෙනයි එයා කන්නේ"
"උදේට හැමෝම කැමති සරල ආහාරයක් ලෑස්ති කරන එකයි මගේ විසදුම. බිත්තර එක්ක පාන් කන්න තමා අපේ ගෙදර අය කැමති. මම බිත්තර ඔක්කොම එකට දාලායි සූදානම් කරන්නේ. මටත් ලේසියි. ඒත් මම එක එක දවසට වෙනස් රසයෙන් තමා හදන්නේ"
"අපි නම් කරන්නේ යන ගමන් කන එක තමා. යන ගමන් කන්න පුලුවන් දෙයක් තමා මම හදන්නේ. චීස් තවරලා පාන් එක්ක කෙහෙල් ගෙඩි කිහිපයක් අරන් යනවා බොහෝ විට."

04. ගෙදරින් එලියට යාම ප්‍රතික්ෂේප කිරීම.



බොහෝ කුඩා දරුවන් පෙර පාසල් යාමට, පාසල් යාමට මැලි වී හඬනවා අප අත්විඳ තිබෙනවා. ඉදහිට දවස් වල එසේ පාසල් යාමට අදිමදි කිරීම ගැටලුවක් නොවුනද, දිනපතාම එසේ කරන්නේ නම් එය දෙමාපියන් ලෙස බොහෝ පීඩාවක් ගෙන දෙන්නක්.
මෙහිදී දරුවා එසේ යාමට අකමැති වීමට යම් විශේෂ හේතුවක් තිබේ දැයි සොයා බැලීම ඉතා වැදගත්.
අප හිතනවාට වඩා විෂම වූ වර්තමාන සමාජය තුල දරුවන්ට එල්ල විය හැකි තාඩන පීඩන බොහෝ පුලුල් පරාසයක පැතිර ඇත. මේ නිසා දරුවා හිටිහැටියේ එසේ අකමැති වේ නම් එය බොහෝ සංවේදීව හා උපක්‍රමශීලිව සොයා බලා කටයුතු කිරීමයි කලයුතු.
මේ සඳහා,
  • දරුවා සමඟ සාකච්ඡා කිරීම.
  • ඊට අමතරව දරුවා තුල වෙනත් වෙනස්කම්ද ඇත්දැයි සැලකිලිමත් වීම.
  • දරුවාගේ සමීපතමයන් ගෙන් විමසීම. උදා. ගුරුවරු
  • දරුවා නිතර ගැටෙන පුද්ගලයන් ගැන සොයා බැලීම.
  • දරුවා ගැටෙන පරිසරය තුල ආසන්නයේ සිදු වූ යම් වෙනස්කම්. උදා. යහලුවා වෙනත් පාසලකට යාම
  • දරුවාගේ පාසලේ අධ්‍යයන කටයුතු වල යම් අපහසුතා තිබේ දැයි සොයා බැලීම.
ප්‍රථමයෙන් කල යුතුයි.
පසුව, එවැනි ගැටලුමය තත්වයක් නොවේ නම් පහත දේවල් ඔබත් උත්සාහ කර බලන්න.



"හැමදාම එකම දේවල් එකම පිලිවෙලින් තමා මම කරන්නේ. එකෙන් ඊලඟට කරන්න ඕනි දේ මොනවාද කියලා බබා කලින්ම දන්න නිසා ගැටලුවක් වෙන්නේ නැහැ. "
"ගෙදරින් එලියට යන්න ඉතිරිව ඇති වේලාව අවසාන විනාඩි 10 සිට මතක් කරදීමයි මම කරන්නේ."
"මම කරන්නේ ගෙදරින් එලියට යන නියමිත වේලාවට එලාම් එකක් තියන එක."
"අපේ ගෙදර ඔරලෝසුව විනාඩි 10 ඉදිරියෙන් යන්නයි අපි හදලා තියෙන්නේ. ඉතින් අපි හැම දේම අවම විනාඩි 10කට පෙරයි අවසාන කරන්නේ"

05. කාර් එකට නැඟීම, කාරයේ ආසනයේ හිඳ ගැනීම, සීට් බෙල්ට් පැළදීම ප්‍රතික්ෂේප කිරීම.

ලංකාව තුල ළදරු කාර් ආසන (baby car seat) භාවිතය නීති ගත නොවුනද, බොහෝ රටවල බබාගේ වයසට හෝ බරට අදාල ලෙස විශේෂයෙන් සකස් කල ආසන භාවිතය අනිවාර්යයෙන්ම කල යුත්තක්. අනතුරු වලදී දරුවන්ට වඩාත් ආරක්ෂාකාරී ලෙස නිපදවා ඇති මෙවැනි ආසන වල මෙන්ම සීට් බෙල්ට් යෙදූ සාමාන්‍ය ආසන වලද හිඳගෙන යාමට දරුවන් අකමැති වන අවස්ථා බොහෝ විට දැකිය හැකියි.

"එයා කරදර නොකර සීට් එකේ ඉඳ ගත්තොත් එයාට රසකැවිල්ලක් ලබා දෙනවා. මම එසේ ලබා දීමට කාර් එක තුල සීනි අවම දරුවන්ට හිත කර රසකැවිලි තබා තිබෙනවා."
"පොලීසිය හේතු කර ගන්න එකයි මම කරන්නේ. අපේ උවමනාවට නොවේ පොලිස් නිලධාරීන්ගේ උවමනාවට අකමැත්තෙන් වුවද එසේ කල යුතු බවයි දරුවන්ට කියා ඇත්තේ"
"කාර් එකේ ඉඳ ගත්තම එයා කැමති සිංදුවක් වාදනය වීමට සලස්වනවා."
"එයා එක්ක එයාගේ බෝනික්කාවත් රැගෙන යන්න ඉඩ දෙනවා. මම එයාව ඉඳවන්න ඉස්සර එයාට බෝනික්කාව ඉන්දවා බෙල්ට් දාන්න කියනවා. එයා එයාගේ බබාව පරිස්සම් කරන්න ඕනි, මම මගේ බබාව පරිස්සම් කරන්න ඕනි."

06. මඟ තොටේදී, පිරිසක් ඉදිරිපිට, පොදු ස්ථාන වලදී, කලබල ඇති කිරීම, හැඬීම, කරදර කිරීම හා අපහසුතාවයට පත් කිරීම.



නිවසේදී ඉතා හොඳින් හැසිරෙන දරුවන් ඇතැම් විට පිරිසක් ඉදිරියේදී දෙමාපියන්ව බොහෝ අපහසුතාවයට ලක් කරමින් හැසිරීම් දක්වනවා අප අත්දැක තිබෙනවා. මෙවැනි අවස්ථා පාලනය කිරීම ඉතාමත් අපහසු වන අතරම, දෙමාපියන් ලෙස අපද ලැජ්ජාවට පත් වීමත් කලබලයට පත්වීමත් නිසා එය තව දුරටත් නරක අතට හැරීම පහසුවෙන් සිදුවනවා. එම ස්ථානයේම වඩා හොඳින් හැසිරෙන තවත් දරුවන් සිටී නම් තත්වය තවත් බරපතල වනු ඇත.

කෙසේ වෙතත්, මෙවැනි විටක සිදු කල යුතුම දේ නම් ඉවසීමයි!!!

දරුවා ගේ හැසිරීම නොසලකා හැරිය හැකි නම් තත්වය පාලනයට එයම උපකාර විය හැකියි. නොඑසේ නම්, ඔබත් තරහා ඇති කර ගෙන දරුවා මෙන්ම ශබ්ද ඇති කරමින් හැසිරීම් දැක්වුව හොත් තත්වය පාලනය වීම වෙනුවට වඩාත් වැඩි දියුණු වීම සිදුවිය හැක.


"එයා මගේ බබා නෙවේ වගේ මම ඉන්නවා. ඒක තමා පහසුම දේ."
"එයා ලඟට පහත් වෙලා කථා කරන්න. ආදරයෙන්, කරුණාවෙන් ආමන්ත්‍රණය කරන්න. එය වාසනාවන්ත දිනයක් නම් එයිනම් සියල්ල යහපත් අතට හැරෙනු ඇති. එසේ නොවුනහොත් එය නරක දිනයක් ලෙස නොසලකා හරින්න" ඒ තමා මං හිතන විදිහ.
"මම නම් අත්දැකීමෙන් කියන්නේ, ඔබ ඔබේ හඬ හැකිතාක් පහත් කර ගන්න. රහසින් මෙන් කථා කිරීමට උත්සාහ ගන්න. ඔබ කියන දෙය ඇසීම සඳහා ඔවුන්ගේ හඬ බාල කිරීම කල විට ,කරුණු විමසා තත්වය පාලනය කර ගැනීමට එය අවස්ථාවක් කර ගන්න."
"ආනේ...... අර මොකක්ද අර... පුදුමය දනවන ලෙස කථා කරන්න. ඈතින් තිබෙන යම් පුදුමාකාර ආකර්ශනීය දෙයක් ඔබ දුටු බව හඟවන්න. දරුවාගේ අවදානය වෙනතකට යොමු කරන්න. එය නිසැකවම උපකාර වේවි"
"වැඩිහිටි දරුවන්ට නම් මං පහසුවෙන් කියන්නේ... ඔයා නරක යමක් කලොත් එයට ප්‍රතිඵල ළඟදීම හමුවනු ඇති බවයි. ඔවුන්ද එය පිලිගන්නා සත්‍යයක්."
"මම නම් ඉතාමත් පහසු නමුත් සාර්ථක උපක්‍රමයක් තමා නිතරම යොදා ගන්නේ. නිවසෙන් පිටත් වෙන්න කලින් මම බබාට කියනවා අද හොඳට හැසිරුණ හොත් මම එයාට යමක් පිරිනමන බව. නමුත් එය දිගින් දිගටම සාර්ථක කර ගැනීමට නම් එම පොරොන්දු ඉටු කිරීම අනිවාර්‍යයි. ඒ නිසා පහසුවෙන් ඉටුකල හැකි පොරොන්දු ලබා දීමට මම පරිස්සම් වෙනවා"


මීට අමතරව,
දරුවාට කුඩා කල සිටම නිවැරදි හා හොඳ පුරුදු නිවස තුලදීම පුහුණු කරන්න. ඔබ දරුවාගෙන් බලාපොරොත්තු වන ලක්ෂණ ඔබද නිවසේදී භාවිතා කරන්න. එවිට, දරුවා අමතරයෙන් නොව පුරුද්දක් ලෙස නිසි පරිදි හැසිරීම සිදු කරනු ඇති. එමඟින් ඔබට පිටත ස්ථාන වලදී කිසිවිටෙකත් අපහසුතා ඇති නොවනු ඇති.


  • නිවැරදිව ආහාර ගැනීමට - කෑම මේසයක් මත, නිසි ලෙස පුටුවක හිඳ, කටපුරවා නොගෙන, ශබ්ද ඇති නොකර, තමාට අවශ්‍ය දේ, අවශ්‍ය ප්‍රමාණය පමණක් බෙදා ගෙන, නිවැරදි කෑම මේස පුරුදු කුඩා කල සිටම පුහුණු කරන්න.
  • ආචාරශීලි වීමට - ස්තූතියි, සමාවෙන්න, කරුණාකර, පුලුවන්ද, වැනි ආචාරශීලි වචන භාවිතයේ වැදගත්කම කුඩා කල සිට උගන්වන්න.
  • වැඩිහිටියන්ට ගරු කිරීමට - දරුවන් කුඩා වයසේ සිට වැඩිහිටියන්ට ගරු කිරීමට, ඔවුන්ට කාරුණික වීමට දරුවන්ට ආදර්ශමත්ව කියා දෙන්න.
  • තමන් සතු දේ බෙදාහදා ගැනීමට - දරුවන්ට කුඩා වයසින්ම හැකි සෑම දෙයක්ම බෙදා ගැනීමට ඉගැන්වීමෙන් දරුවන් අන් අයට උදව් කිරීමට, අන් අය ගැන සමව සිතීමට නැඹුරු වෙනවා මෙන්ම ආත්මාර්ථකාමී ගති වලින් බැහැරවීමටද එය හේතු වේ.
මේ සියල්ල කුඩා කලම නිවස තුලින්ම පුරුදු පුහුණු කිරීමෙන් දරුවා සමාජ ගත කිරීමේදී දෙමාපියන්ට ඇතිවිය හැකි බොහෝමයක් ගැටලු වලට විසඳුම් ගෙන දෙනු ඇත.

07. ආහාර ගැනීම ප්‍රතික්ෂේප කිරීම හෝ ආහාර සම්බන්ධයෙන් මැසිවිලි නැගීම.



බොහෝ දරුවන් යමක් තේරෙන වයසටත් පෙර සිටම ආහාර ගැනීම ප්‍රතික්ෂේප කිරීමට බොහෝ දක්ෂයි. නමුත් වයසින් වැඩෙත්ම එය දෙමාපියන් විසින් යම් පාලනයකට ලක් කිරීම කල යුතුයි.

"අපේ ගෙදර නම් නීතිය හැමෝම එකට කෑම මේසයට වාඩි වෙන්න ඕනි වගේම, සියලු දෙනාම ආහාර අරන් ඉවර වන තුරු හැමදෙනාම රැදී ඉන්න ඕනි. ආහාර නොගෙන එකතැන හිද සිටීමට වඩා ආහාර ගැනීම ඔවුන් තෝරා ගන්නවා"
"දවසේ එක් ආහාර වේලකට හෝ දරුවන් කැමති දෙයක් පිසීමයි මම කරන්නේ. එසේම සෑම වේලකටම ඔවුන් කැමති එක් වර්ගයක් හෝ පිළියෙල කිරීමට මම උත්සාහ කරනවා"
"ඔක්කොම කන අයට විතරයි අතුරුපස ලැබෙන්නේ..... එය වචනයට පමණක් නෙවෙයි වරක් හෝ සත්‍ය ලෙසම ක්‍රියාවට නැංවුව හොත් පසුව සාර්ථක ප්‍රතිඵල ලබාගැනීමට එය හේතුවෙනවා"
"මම වෙළඳපොලට යන විට දරුවන්ද එක්ක යනවා. ඔවුන්ටත් ආහාර ද්‍රව්‍ය තෝරාගැනීමට ඉඩ දෙනවා. ඒ ගැන විස්තර කථාබහ කරනවා. ඒ දේවල් පිසූ විට දරුවන් තමන් තෝරාගත් දෙය ආසාවෙන් ආහාරයට ගන්නවා ඔබ දකීවි"
"මම කරන්නේ ආහාර ගැනීම සඳහා එයා ආස කරන පිඟානක් කෝප්පයක් තෝරාගැනීමට ඉඩ දීම. මේ සඳහා පිඟාන් කෝප්ප කිහිපයක් නම් අවශ්‍ය වෙනවා. දවසින් දවස වෙනස් පිඟන් ලැබීම ඔවුන්ට ආහාර ගැනීමට උද්යෝගයක් සපයනවා"
"එකම ආහාරය විවිධ ලෙස සකස්කර දීමයි මගේ විසඳුම. උදාහරණයක් විදහට බිත්තර ගත්තොත් බිත්තර සකස් කරන ක්‍රම බොහෝමයක් තිබෙනවා. තම්බලා, බැදලා, ස්ක්රැම්බල් කරලා, ඔම්ලට් හදලා, අතුරුපස ලෙස, ආදි බොහෝ ආකාරයන්ට ලබා දීමයි මම කරන්නේ"
"ඔයා මොනවත් කෑවේ නැති වුනාට කමක්නැහැ. ඒත් උදේ වෙනකල් ආයි කන්න ලැබෙන්නේ නැහැ."
"අලුත් ආහාරයක් හඳුන්වා දීමේදි, බබාගේ අත්තම්මා, අත්තාත් ඒකට කථාවකින් හවුල් කර ගන්න එක තමා මම කරන්නේ. අත්තම්මා ගේ ආසම කෑම තමා මම අද හැදුවේ ඔයත් කාල බලන්නකෝ ආදි ලෙස ඔවුන්ගේ අවදානය ඒ වෙත යොමු කරන එක වඩාත් ප්‍රතිඵලදායකයි"
කුඩා වයසේ දරුවන් සඳහා ගත හැකි ක්‍රියාමාර්ග දැන ගැනීමට මෙම ලිපිය කියවන්න.



08. නෑමට මැලි වීම



ඇතැම් දරුවන් වතුරට බොහෝ කැමති වන අතරම තවත් සමහර දරුවන් එතරම් කැමැත්තක් නොදක්වයි. කෙසේ වුවත් මෙයද දෙමාපියන් ලෙස බොහෝ සටන් කිරීමට සිදු වන අවස්ථාවක් ලෙස දක්වන්න පුලුවන්.
මෙයට විසඳුම් ලෙස පහත දේවල් උත්සාහ කර බලන්න.
  • නැහැවීමේදී මුහුණට ජලය නොයන ලෙස භාවිතා කල හැකි ආවරණයක් භාවිතා කරන්න.
  • නාන බේසමට දැමිය හැකි රබර්මය, ජලයේ පාවෙන සුලු සෙල්ලම් බඩු කීපයක් දරුවාට ලබා දෙන්න.
  • බුබුලු ඇතිවන සබන් දියර, ෂැම්පු වර්ග භාවිතා කරන්න.
  • නහවා අවසානයේ වතුර තුල සෙල්ලම් කිරීමට අවස්ථාව ලබා දෙන්න.
  • "O" සීරියල් ජලයට දමා අල්ලා ගැනීමට අවස්ථාව ලබා දෙන්න. - සියුම් චලන නිපුණතා සංවර්ධනයටද හේතු වේ.


09. නින්දට යාමට ප්‍රතික්ෂේප කිරීම.

වයසින් කුඩා දරුවන්ට යොදාගත හැකි උපක්‍රම මෙතැනින්....



වයසින් වැඩි දරුවන්ට නම් ඔබට පහත දේවල් උත්සාහ කල හැක.

"මම මැගසින් එකක් අරන් අපි කතාන්දර කියවන තැන ලෑස්ති බව ඔවුන්ට කියවනවා. ඔවුන් ඉක්මන් වුවහොත් පොත් කියවීමට බොහෝ වේලාවක් තිබෙන බව ඔවුන් දන්නා නිසා වඩා ඉක්මනින් පිරිසිදු වී සූදානම් වෙනවා. ඒ අතරතුර මටත් සුලු විවේකයක් ලැබෙනවා. ඒ නිසා මම ඒ ක්‍රමයට වඩාත් කැමති."
"ඔවුන් ඇඳට යා යුතු වේලාවට විනාඩි 30කට පෙර සිට මම ඔවුන්ට එය මතක් කරනවා. එවිට ඔවුන් ඒ වන විට කරමින් සිටින දේ නවත්වා, ඇඳට යාමට සූදානම් වීමට ඔවුන්ට වේලාව තිබෙනවා"
"මා නම් සවස කල යුතු සියල්ල කාලසටහනක් අනුවයි කරන්නේ. එවිට ඔවුන් දන්නවා වේලාවට කල යුතු දෙය. එය කිසිම හේතුවක් නිසා වෙනස් වන්නට මම ඉඩ තබන්නේ නැහැ"
"පාසල් ගෙදර වැඩ අවසන් කල පසුවයි ඔවුන්ට සෙල්ලම් කිරීමට යා හැක්කේ. ඒ නිසා මුලු සවස් වේලාවම ඔවුන් මහන්සියෙන් සෙල්ලම් කරනවා. නැවත නිවස තුලට එන විට හැකි ඉක්මණින් පිරිසිදු වීටම ඔවුන්ටම අවශ්‍යයි. ඒ නිසා රාත්‍රී කාලසටහන මට නම් අපහසු නැහැ"


ඔබේ දරුවාත් මෙවැනි හැසිරීම් දක්වන්නට සමතෙක් නම් ඔබත් මෙම විසඳුම් උත්සාහ කර බලන්න.

Related articles : දඟ පැට්ටා වරදක් කලොත්...... Parenting for misbehaviours

~මෙහි අන්තර්ගතය මා සතු පෞද්ගලික අත්දැකීම් ද, පොත පත අධ්‍යයනයෙන් හා අන්තර්ජාලය ඇසුරින් මා ලබා ගත් දැනුමද වන අතර, අවශ්‍ය විට සුදුසු වෛද්‍ය උපදෙස් ලබා ගැනීම ඔබ සතුය.~

Tʜɪs ᴀʀᴛɪᴄʟᴇ ɪs ᴡʀɪᴛᴛᴇɴ ᴀɴᴅ ᴄʀᴇᴀᴛᴇᴅ ʙʏ KalSwijesooriya ᴀᴜᴛʜᴏʀ @ KC and Baby K.
Rᴇʙᴜʙʟɪsʜɪɴɢ ᴡɪᴛʜ ᴀ Cᴏᴘʏ ᴏʀ Sᴄʀᴇᴇɴsʜᴏᴛs ɪs Nᴏᴛ Aʟʟᴏᴡᴇᴅ.
Yᴏᴜ Mᴀʏ Sʜᴀʀᴇ Iɴsᴛᴇᴀᴅ.
Aʟʟ Rɪɢʜᴛs Rᴇsᴇʀᴠᴇᴅ © 2019 KC and Baby K™

Comments

Popular posts from this blog

පැනයට පිළිතුරු 01 (Problem_Solving)

බබා ට කිරි වැඩිපුර..... More breast milk to ur infant

බුද්ධිමත් දරුවෙක් නිර්මාණය කරමු - Make Ur baby Intelligent