මව්කිරි මදිද? කිරි එරීම ප්‍රමාද ද? මව්කිරි සම්බන්ධ බොහෝ ගැටලු වලට විසඳුම් - පැනයට විසඳුම් 4


මව්කිරි - මනුලොව ජීවය සැකවින් (Breast milk - the spirit of mankind in brief)

පැනයට විසඳුම් 4


පැනය - "බබා ඉපදුනු දවස් වල ඉඳලාම මට බබාට දෙන්න කිරි අඩුයි. ඇයි එහෙම වෙන්නේ?"

මේ තවත් එක් මවක් විසින් අපේ පිටුවට ඉඳිරිපත් කල පැනයක් වුවත්, සමාජයේ බොහෝ මව්වරුන් මානසික පීඩාවට ලක් වන ගැටලුවක් ලෙස මෙය දක්වන්න පුළුවන්.

ඒ වගේම අපේ සමාජයේ මුල් බැසගත්ත දුර්මතයන් වන බබාට තියෙන ආදරේ ප්රමාණය අනුව මවට කිරි එරෙනවා හා සාමාන්‍ය විදිහට දරු ප්‍රසූතිය සිදු කල මව් වරුන්ට නිපදවෙන කිරි ප්රමාණය වැඩි කියන මතයන් නිසාත් මේ "කිරි මදි" කියන කරුණ සංවේදී මාතෘකාවක් බවට පත් වෙනවා.

අපේ රටේ කිසිම මවක් තම ලේ ඇට මස් කිරි කරලා දරුවාට දෙන්න කිසිදු ලෝභකමක් ඇතැයි කියා මා සිතන්නේ නැහැ. මේ නිසාම කිසිම මවක් තමන්ගේ කිරි කැටියාට ආසාවෙන් milk formula එහෙමත් නැත්නම් කවුරුත් දන්න පිටි කිරි ලබා දෙන්නේ නැහැ. එලෙසම කිසියම් හේතුවක් නිසා බබාට formula ලබාදීම නිසාවෙන් මවක් පීඩනයට ලක් නොකලයුතු බවත් මෙම ලිපිය කියවීමෙන් පසු ඔබ වටහා ගනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා. 

මව්කිරි නිෂ්පාදනය


මිනිසා ඇතුළු ක්ෂීරපායී සෑම සත්වයෙක්ම අලුත උපන් තම දරුවන් පෝෂණය කිරීම වෙනුවෙන් සිදුවන, අතිශය ස්වභාවික වගේම අසිරිමත් ක්‍රියාවලියක් තමා මව්කිරි නිෂ්පාදනය.
කාන්තාවක් ගැබ් ගැනීමත් සමඟම මව්කිරි නිෂ්පාදනයේ ක්‍රියාවලියත් ආරම්භ වෙනවා. එනම්, කිරි නිෂ්පාදනය වෙනුවෙන්ම මවගේ ශරීරයේ ඇති ක්ෂීර ග්‍රන්ථි දරු පිළිසිඳ ගැනීමත් සමඟ සක්‍රීය වෙනවා.

මව්කිරි නිපදවීමේ ක්‍රියාවලිය



මව්කිරි නිෂ්පාදනය සිදුවෙන්නේ හෝමෝනමය ක්‍රියාවලියක් මඟින්. ප්රෝලැක්ටීන් (Prolactin) නම් හෝමනය මව්කිරි නිපදවීමට හේතු වෙන අතර ඔක්සිටෝසීන් (Oxytocin) නම් හෝමෝනය එසේ නිපදවන ලද කිරි ගලාඒම සිදු කරනවා. එනම් පියයුරු තුල කිරි ගමන් කරන සංවේදනය ඇතිවීමට හේතුවන්නේ මෙම Oxytocin හෝමෝනයයි.

මව්කිරි නිපදවීමේ අදියර

මව්කිරි නිපදවීම ප්‍රධාන අදියර 4කින් යුක්තයි.





1. අදියර
මව ගැබ් ගෙන දෙවන ත්‍රෛමාසිකයේදී (2nd trimester) ඇරඹෙන මෙම අදියරයේදී මව්කිරි නිපදවීම සඳහා අවශ්‍ය වන හෝමෝන
ක්ෂීර ග්‍රන්ථි තුලදී නිදහස් වීම සිදු වේ.
මව දරුවාට උපත ලබා දී දින 1-2 ත් අතරදී දරුවාගේ ප්රථම ආහාරය වන colostrum සුළු වශයෙන් නිපදවීම සිදු වේ.


2. අදියර
බබා ඉපදී දින 4ක් පමණ වූ විට ඇරඹෙන මෙහිදී පරිපූර්ණ මව්කිරි නිපදවීම ආරම්භ වේ. මෙය සංක්‍රාන්ති කිරි එහෙමත් නැත්නම් transitional milk නම් වේ. අධික ප්රමාණයකින් මව්කිරි නිපදවීම සිදුවන අතර පියයුරු පිරී ඇති ස්වභාවය මවට දැනේ. ඇතැම් විට මෙම තත්වය ආරම්භ වීමට බබා උපත ලබා දින 10ක් පමණ ගත වන අවස්ථාද ඇත.


3. අදියර
බබාට දින 9ක් පමණ වූ විට ආරම්භ වී මව්කිරි ලබාදීම නවත්වන තුරු පවතින්නේ මෙම අදියරයයි. මෙහිදී නිපදවෙන්නේ මේරූ මව්කිරි (mature milk) වේ. නිරන්තරයෙන් මව්කිරි ලබාදීම තුල පමණක් මෙහි ස්ථාවරභාවය රඳා පවතියි. එනම් පියයුරු තුලින් මව්කිරි පිටවීමේ ප්‍රමාණයට සාපේක්ෂව නැවත නිපදවීම සිදුවේ.


4. අදියර
මව්කිරි දීම නවතා දින 40ක් පමණ වන තුරු පවතින්නේ මෙම අදියරවන අතර මව්කිරි නිපදවීම ක්‍රමක්ක්‍රමයෙන් අඩු වී ගොස් සම්පූර්ණයෙන්ම නැවතීම සිදුවේ.

මව්කිරි එරීම පමාවීම



ඇතැම් අවස්ථාවලදී බබා ඉපදී දින 3-4 පමණ වන තුරුත් කිරි එරීම පමා වෙනවා. මෙසේ වීමට බලපෑ හැකි හේතු කිහිපයකි.

* මවගේ අධික ස්ථුලතාවය
* සංකීර්ණ හෝ ව්‍යාකූල දරු ප්‍රසූති - උදා. හදිසි C-section අවස්ථාව
* දියවැඩියාව තත්වය නිසා ඉන්සියුලින් ප්රතිකාර ලබා ගැනීම
* ප්‍රසූතියේදී ගර්භාෂය තුල ඉතිරි වූ කලලබන්ධන කොටස් (prolactin හෝමෝන ක්‍රියාකාරීත්වයට බධා කරයි)

මව්කිරි එරීම පමාවූ විට කල හැකි දේ.



* දිගින් දිගටම බබාට කිරි බීමට ඉඩ සැලසීම - කිරි එරීම වැඩි කර ගැනීමට කල හැකි ප්‍රධානම හා සුදුසුම දේ මෙයයි. බබා තනපුඩුවෙන් ඉරීම මවගේ කිරි නිපදවීම උත්තේජනය කරයි.
* වැඩිපුර ජලය/ දියර වර්ග පානය
* ප්‍රමාණවත් නින්ද

මේ හැර
* නොකඩවා කිරි දෙවීම
* කිරි නිපදවීම වැඩි වීම සඳහා වන පෝෂණ අතිරේක  ලබා ගැනීම

මඟින්ද මව් කිරි නිපදවීම වැඩි කර ගත හැක.


ප්‍රශස්ථ මව්කිරි නිපදවීමක් සඳහා

* මවටත්, දරුවාටත් සාමකාමී පරිසරයක් නිර්මාණය කිරීම
* මව යහපත් මානසික සෞඛ්‍යයක් පවත්වා ගැනීම
* බබා ව නිසි පරිදි තන පුඩුවෙහි ස්ථානගත කිරීම
* ප්රමාණවත් වේලාවක් මව්කිරි ලබාදීම
* බබා ගේ මෙන්ම මවගේත් පහසුව
* මවට ලැබෙන අතිරේක උපකාර

යනාදියද වැදගත් වේ.


මව් කිරි නිපදවීම අඩුවිය හැකි හේතු

1. ක්ෂීර ග්‍රන්ථි වල හා තන පුඩු වල ගැටලු
සමහර මව්වරුන්ට ස්වභාවිකවම කිරි නිපදවීම සිදුකරන ග්‍රන්ථි වල අඩුවක් පවතී. මෙය කිරි නිපදවීම අවම වීමට හේතුවේ
2. විවිධ හෝමෝනමය ගැටළු
කිරි නිපදවීම හෝමෝනමය ක්‍රියාවලියක් වන බැවින් මව තුල හෝමෝන අස්ථාවර වීම් ඇත් නම් එය මව් කිරි නිපදවීම අඩු වීමට හේතු වේ.
3. මවගේ රෝගී තත්ව
මවට දියවැඩියාව, අධිරුධිර පීඩනය ආදී රෝග ඇත් නම් එයත් මේ සඳහා හේතු විය හැක
4. පියයුරු ශල්‍යකර්ම
5. හෝමෝනමය උපත් පාලන ක්‍රම
6. මව භාවිතා කල ඇතැම් ඖෂධ වර්ග
7. දරුවාගේ උරාබීමේ අපහසුතා හෝ මුඛයේ අක්‍රමිකතා (tounge tie, lip tie)
8. රාත්‍රියේ මව්කිරි නොදීම
9. මව්කිරි ලබාදීමේ කාලපරාසය හෝ වාර ගණන පාලනය කිරීම
10. ප්‍රසූතිය සඳහා හෝ පසුව මවට භාවිතා කල ඖෂධ
11. මුල් දින කීපයේදී දරුවාට මව්කිරි ලබාදීම අඩු වීම
12. මවගේ අයහපත් සෞඛ්‍ය පුරුදු - දුම්පානය, මත්ද්‍රව්‍ය භාවිතය
13. කැෆේන් වර්ග අධික ලෙස ලබාගැනීම - කෝපි, කෝකා වර්ගයේ පාන



මව්කිරි නිෂ්පාදනය වැඩි කිරීමට කල හැකි දේවල්

1. නිරන්තරයෙන් මව්කිරි ලබාදීම
2. කිරි දෙවීම (pump)
3. උණුසුම් ජලය ස්නානය
4. පියයුරු සම්බාහනය හා තැවීම
5. රාත්‍රි කාලයේදී වැඩිපුර මව්කිරි ලබාදීම
6. පෝෂදායී ආහාර

මව් කිරි නිපදවීම වර්ධනය කරන ආහාර වර්ග මෙතනින්

© kalSwijesooriya @ KC & Baby K

Comments

Popular posts from this blog

පැනයට පිළිතුරු 01 (Problem_Solving)

බබා ට කිරි වැඩිපුර..... More breast milk to ur infant

බුද්ධිමත් දරුවෙක් නිර්මාණය කරමු - Make Ur baby Intelligent