චූටි පැටියා හතයි... හතයි... - Baby's first step



අම්මා ගේ කුස තුල සතියෙන් සතිය වැඩුණු කිරි කැටියා, මෙලොව එළිය දුටු දා සිට මාසෙන් මාසෙත්, ඊටත් පස්සේ අවුරුද්දෙන් අවුරුද්දත් වැඩෙනවා. එහෙම තමා අපි දකින්නේ.

ඒ අතරම බබා,
  
මුනින් හැරෙනවා, ඉඳ ගන්නවා, බඩ ගානවා, දණ ගානවා, සිට ගන්නවා ඊටත් පස්සේ තමා ඇවිදින්නේ.


මව් කුස තුල මුල් අවධියේ අම්මාගේ කුස තුල දී පා ගැසීමට ඇරඹි මොහොතේ සිට, ළදරු විය පසු කර ළමා විය තෙක්ම දරුවා විසින් මෙලෙස පියවරෙන් පියවර ප්‍රගුණ කරන හැකියාවක් ලෙස ඇවිදීම දක්වන්න පුළුවන්.


දරුවෙකු ඇවිදීම අරඹන්නේ මාස 9-15 ත් අතර වූ වයස් පරාසය තුලයි. එනම්, ඇතැම් දරුවන් මාස 9ක් තරම් අඩු කාලයකදී ඇවිදීම ආරම්භ කලද, තවත් සමහර දරුවන් මාස 15ක් වැනි කාලයකදී තමයි ඇවිදීම ආරම්භ කරන්නේ. තවද, මාස 15 ක් වැනි දිගු කාලයක් වන විටත් දරුවා ඇවිදීම ආරම්භ නොකලත්, පෙරලීම, හිඳ ගැනීම, බඩ ගෑම හා, දණගෑම ආදී සංධිස්ථාන ලඟා කර ගෙන සිටී නම් බිය වීමට අවශ්‍ය නොවන බවයි පැවසෙන්නේ. කෙසේ නමුත්, දරුවා මාස 15 වන විට ඇවිදීම නොකරන්නේ නම් වෛද්‍ය උපදෙස් ගැනීමයි සුදුසු.


මේ නිසා දෙමාපියන් ලෙස, දරුවන් මෙසේ ඇවිදීම ප්‍රගුණ කිරීම හා සම්බන්ධ සංධිස්ථාන මොනවද හා එහි කාල සීමාවන් කෙසේද යන්න ගැන දැනුවත්ව සිටීම අතයාවශ්‍යයි. මේ ඒ පිළිබඳවයි.

ළදරු විය (Baby)


උපතේ සිට මාස 2 - ඇවිදින ආකාරයක් ප්‍රතිරූපණය කරයි. සමතල මතුපිටක සිටගස්වා තැබූ විට දෙපා එහා මෙහා කරමින් ඇවිදීමට උත්සාහ කරන ආකාරයක් දක්වයි. මාස 2න් පසුව මෙසේ කිරීම නවතී.



මාස 3 - 4 - මුනින් අතට තැබූවිට, දෑත් ආධාරයෙන් හිස හා ඉදිරි කය එසවීමට උත්සාහ කරයි. මෙයින් දරුවා ඇවිදින කාලයේදී ඉදිරි කය මාංශ පේශි වලට අවශ්‍ය දරා සිටීමේ හැකියාව ලැබෙයි.

මාස 5 -  සිට ගන්නා ඉරියව්වෙන් ඔසවා තැබූ විට, පාද කෙලින් කරමින් හා නවමින් කරමින් උඩපනින ආකාරයක් දක්වයි. මෙය පාද වල මාංශ පේශි ශක්තිමත් වීමට උදව් වේ. හිඳ ගස්වූ විට අත් ආධාරයෙන් ඉදිරියට ඇදීමට උත්සාහ කරයි.


මාස 6 - 8 - ආධාරයක් නැතිව, තනිව හිඳ ගැනීමට උගනී. මේ සඳහා බෙල්ලේ පේශි ශක්තිමත් විය යුතු අතර හිස කෙලින් තබා ගැනීමට හා හිසේ හැරවීම පාලනය කිරීමට හැකි විය යුතුයි. මේ සියලු නිපුණතාවන් ඇවිදීම ආරම්භ කිරීමේ අවශ්‍යතා වේ.


මාස 7- 12 - බොහෝ  දරුවන් බඩගෑම හා දණගෑම මෙම වයසින් ආරම්භ කරන අතර, ඇතැම් දරුවන් එම සංධිස්ථානය මඟ හැර කෙලින්ම ඇවිදීම අරභයි. යමක් අල්ලාගෙන සිට ගැනීමට හැකියාව ලබයි.

***වයස මාස 7 වන විට ආධාර කල විටදීත්, කකුල් වලට බර දී සිට ගැනීමට බබා යම් අපහසුතාවන් දක්වනවා නම් හෝ මාස 9 වනවිටදී ආධාර නොමැතිව තනිව හිඳ සිටීමට නොහැකියාවක් දක්වයි නම් නොපමාව වෛද්‍ය උපදෙස් ගැනීමට සැලකිලිමත් විය යුතුයි.

මාස 9-12 - යම් ආධාරකයක්(උදා. පුටුවක්, මේස කකුලක්) උදව් කර ගෙන ඉහලට එසවී සිට ගනී. දණහිසේ නැවීම් හඳුනාගනිමින් සිට ගන සිට නැවත හිඳ ගැනීමට හැකියාව ලබයි. ඉතා නුදුරේදීම අඩ ඇවිදීම් ඉරියව් පෙන්නුම් කරනු ඇති අතර ආධාරක ඔස්සේ අඩමාන අඩි තබමින් හා කකුල් අදිමින් ඇවිදීම ආරම්භ කරනු ඇත.


තත්පර කිහිපයක් ආධාරයක් නොමැතිව සිටගෙන සිටී. දෙඅත් අල්ලා ආධාර කල විට පා ඔසවමින් ඇවිද යයි. පැටියා ගේ පළමු අඩි තැබීම සිදුවේ.

සිඟිති විය (Toddler)

මාස 12-15 - දරුවා බොහෝ විට ඇවිදීම ආරම්භ කර ඇත. විහිදාගත් දෙඅත් වල උපකාරයෙන් සමබරතාවය රැකගනිමින් ඇවිදයයි. නැමී වකුටු. වී නැවත සිට ගැනීමට දරුවා ඉතා ඉක්මනින් ඉගෙන ගනු ඇත. තමා මෙන්ම සෙල්ලම් බඩුද තැනින් තැනට ඇදගෙන හෝ තල්ලු කර ගෙන යාමට කැමති වේ.


***වයස මාස 14-15 වන තුරුත් පා එසවීම සිදු නොකරයි නම් වෛද්‍ය උපදෙස් ගැනීම සුදුසු වේ. තවදුරටත් ඇවිදීම ආරම්භ කිරීම පමා වීම විය හැකි වුවත්, එම පමා වීමට හේතු පරීක්ෂා කිරීම වැදගත් වේ.

මාස 15-18 - උපකාර ඇතිව පඩිපෙල් නැඟීම බැසීම සිදු කල හැක. බොහෝ විට පිටුපසින් පිටුපසට ඇවිදීමට ද හැකි වේ. සංගීතයක් ඔස්සේ නැටීමද සිදු කරයි.


මාස 18-24 - ඇවිදීමේ වේගය වැඩි වී දිවීම දක්වා වර්ධනය වේ. දෙවන වසර ලබන විට බෝලයකට පයින් ගැසීමට, පා ඇඟිලි මත ඉස්සීමට, අතින් යමක් ඔසවා ඇවිදීමට හා කුඩා උසක් මත සිට බිමට පැනීමට හැකියාව ලබයි.


පෙර පාසල් විය (Pre-schooler)

මාස 25-30 -  වැඩිහිටියෙකුගේ අත හෝ අත්වැල අල්ලා ගෙන පඩිපෙල නැගීම හා බැසීම යම් වේගයක් සහිතව සිදුකරයි. පහසුවෙන් දුවගෙන යා හැක.


මාස 31-36 - උඩපැනීමට හැක. පා එකවර බිම තබමින්ද, වම දකුණ මාරු කරමින්ද උඩපනී. වයස අවුරුදු 3 වන විට පඩි ඔස්සේ දෙපා හුවමාරු කරමින් පා තබමින් පඩිපෙල නැගීම, බැසීම කරයි.


අවුරුදු 4 - සමබරතාවය උගනී. තනි කකුලෙන් පැනීමට හැකියාව ලබයි. එක් කකුලක් වඩා හුරු බව පෙන්නුම් කරනු ඇත. උපකාර රහිතව පඩි නැගීම බැසීම සිදු කරයි.


ළමා විය (Big kid)

අවුරුදු 5- ඇවිදීම, දිවීම, පැනීම(hop, skip, jump) ආදී ඇවිදීමේ සියලු අංග ප්‍රගුණ කර ඇත.


මෙතැන් පටන් නිමක් නැතිව එහෙ මෙහෙ දුවන, පනින පොඩ්ඩව ටිකක් එක තැන තියා ගන්න පවා ගොඩක් අමාරු වෙනවා. ඒත් ඉතින් නීරෝගී බබාලා එහෙම තමයි කියලා අම්මලාට හිත සනසාගන්නට තමා වෙන්නේ...

බබාගේ වර්ධනයේ සංධිස්ථාන ගැන හැදින්වීමක් පහත ලිපියෙන්....

https://kcandbabyk.blogspot.com/2019/08/child-developmental-milestones.html

© kalSwijesooriya @ KC & Baby K

Comments

Popular posts from this blog

පැනයට පිළිතුරු 01 (Problem_Solving)

බබා ට කිරි වැඩිපුර..... More breast milk to ur infant

බුද්ධිමත් දරුවෙක් නිර්මාණය කරමු - Make Ur baby Intelligent