දඟ පැට්ටා වරදක් කලොත්...... Parenting for misbehaviours


ගුටියක් දෙනවාද? 
කෑගහලා බනිනවාද? 
මුල්ලකට දානවාද? 

අත දරු කිරි කැටියා දවසින් දවස ලොකු වෙලා. දැන් එහෙ මෙහෙ දුවන පනින දඟ පැටියෙක්.. කයින් වගේම මනසින් ද වැඩෙන දරුවන් හැමවෙලේම අපි කැමති දේවල්ම කරන්නේ නැහැ. එහෙමත් නැත්නම් ඔවුන්ගේ හැසීරීම්, චර්යාවන් සෑම විටම හොඳම දේවල් වෙන්නේ නැහැ. දඟයි කියන්නේ ඒකනේ. 




චන්ඩිකමට රන්ඩුවක් වෙලා....
පුංචි පුතා ඉන්නේ හැංගිලා....
අයියාට ගහලා.... නංගිව විකලා...


ඔන්න ඔහොම පැටව් දඟ වෙන්න පටන් ගන්න විට දෙමාපියන් විදිහට අපට යම් ක්‍රියාමාර්ගයක් ගන්නම වෙනවා. ඉස්සර නම් පේර කෝටුවකින්, වේවැලකින් හොඳට ගුටි තමා හම්බවුණේ... ගස් බැදලා තියපු, දිඹි ගොටු ඇඟට දාපූ ඈත අතීතය ගැනත් අපි අහලා, කියවලා නැතුව නොවේ.

ඒත් අද කාලයට ඒ දඩුවම් ගැළපෙනවාද.....?
මේ ගැන විවිධ දෙමාපියන් දරන්නේ විවිධ මත.


"අපේ අම්මලා තාත්තලා අපිට ගහලා හැදුවේ. අපි ඒකෙන් හොඳට හැදුණා" 
 පිරිසක් මෙහෙම කියද්දී...
තවත් පිරිසක්.. 
"ගුටි කෑවා නම් මතකයි. ඒත් කරපු වරද වත්, ඒකෙන් වෙනස් වුණා වත් නම් මතක නෑ"




ඒ වගේම,

"මට පොඩි කාලේ මගේ තත්තා පොඩි දේටත් ගහන කොට එයා ගැන පුදුම තරහක් ආවේ. දඩුවම් කරන හැම වෙලේම ඒක වැඩි වුණා. අන්තිමට මම තාත්තාට වෛර කරන්න පටන් ගත්තා. මගේ අතින් මෙහෙම වෙන්න මුල් වුන හේතුව ඒකයි"

මේ වගේ ශෝචනීය කතාවක හිමිකරුවන්ද සමාජයේ නැත්තේ නොවේ.
අපේ කාලේ..

ඔබේ ළමා කාලයේ ඔබට අත්විදි මෙවැනි අවස්ථා මතකයට නගන්න...

* මෙසේ දඬුවම් වින්ද විට ඔබට දැනුණු හැඟීම මතකද?
* පහර කෑමෙන් ඔබ කොපමණ වේදනාවක් ලැබුවාද?
* කෙතරම් දුක් වූවාද?
* ඇඬුවාද?
* කොපමණ බියක්, තරහක් සිතට දැනුණාද?
* කොයි තරම් අසරණ සිතක් ඇති වුණාද?


අද දරුවන්....

වර්තමානයේ දරුවන් තාක්ෂණික දියුණුවත් සමඟම දැනුමෙන් වඩාත් සන්නද්ධයි. ඔවුන් පුළුල් පරාසයක ලොවක් අත් දකිනවා. අධිවේගයෙන් දියුණු වන වාණිජ ලොව තුල ඔවුන් වැරදි වලට යොමු වීමේ ඉඩ ප්‍රස්ථාවත් බොහෝ ඉහළයි.

මෙවැන් යුගයක දෙමාපියන් වුණ අපි වඩාත් බුද්ධිමත්ව ක්‍රියා කල යුතු, සංවේදී මෙන්ම බැරෑරුම් අවස්ථාවකි මේ. දරුවන් යහමග යැවීම, වරද පෙන්වා නිවැරදි මඟට ගැනීම හා නොකල යුතු දේ තේරුම් කිරීම කියන්නේ ඉතා පහසු, සරල කටයුත්තක් නොවේ.

නමුත් මේ දේ කල හැකි ආකාරයක් තිබිය යුතුයි. එනම් දරුවාට ගහනවා බනිනවා වෙනුවට දරුවාට දැනෙන, තේරෙන පරිදි කල හැකි දේ මොනවාද කියා අප දැන සිටිය යුතුයි.

දරුවන්ට ලබා නොදිය යුතු දඬුවම් මොනවාද?
ඊට හේතු කවරේද?
දරුවන් යහපත් ලෙස හික්මවීම සඳහා ගතහැකි ක්‍රියාමාර්ග මොනවාද?

ගැනයි මේ ලිපිය දිග හැරෙන්නේ....

පහර ගැසීම




දරුවන් යම් බරපතල වරදක් කල සැනින් බොහෝ දෙමාපියන් ලබා දෙන දඩුවම් ආකාරයක් ලෙස පහර ගැසීම දක්වන්න පුළුවන්. දරුවෙක් නොකල යුත්තක් දිගින් දිගටම කරන විට එහෙමත් නැත්තම් සීමාව ඉක්මවා ගිය තැනකදී ඇතැම් දෙමාපියන් දරුවාට පහරක් ගැසීමට යොමු වේ. දරුවා එලෙස පාලනයෙන් ගිලිහී යන අවස්ථාවක වඩාත් සාර්ථක ක්‍රමයක් ලෙසයි දෙමාපියන් මෙය දකින්නේ. 

දරුවා වේදනාවට බිය වීම නිසා තාවකාලිකව එම වරද නොකර සිටීමක් පමණක් එමඟින් සිදුවන අතර ඉන් දරුවාට සිදු වන අයහපත ඊට වඩා බොහෝ වැඩිය. 

එලෙසම විද්වත් මතය වන්නේ,
දරුවාට පහරක් ගැසීම දෙමාපියන්ගේ අධිපති භාවය පෙන්වීමක්ද, තරහා පිට කිරීමක්ද පමණක් වන බවත්, යම් වේදනාවක් කිසිදා පාඩමක් හෝ පණිවුඩයක් වන්නේ නැති බවත්ය. 

අධික ශබ්දයෙන් කෑගසමින් බැන වැදීම.




දෙමාපියන් ලෙස දුර දිග නොබලා තම තරහා වේදනාව පිට කර ගැනීම වෙනුවෙන් මෙසේ කලද, මින් දරුවන් ගේ සම්පූර්ණ අනාගතයම වෙනස් කල හැකි තරම් ඵලවිපාක ගෙන දිය හැකියි.

එලෙසම දෙමාපියන් සෑම විටම මතකයේ තබාගේ යුතු කරුණු කීපයකි. එනම්, දරුවන් යනු කුඩා වැඩිහිටියන් නොවේ. ඔවුන් වැරදි කිරීම සාමාන්‍යයි. එය වරදක් හෝ නොකලයුත්තක් කියා නොදැනුවත්ව යමක් කිරීමයි බොහෝ විට සිදු වන්නේ.

හරි වැරදි දෙය නිසි ලෙස තේරුම් කිරීමෙන් හා විපාක කාරුණිකව පෙන්වා දීමෙන් වඩාත් සාර්ථකව දරුවන් යහමඟට ගැනීම කල හැකියි යන්නයි මගේ පෞද්ගලික මතය.

එමෙන්ම, කෑගසමින් බැණ වැදීම දරුවන්ට කිසි සේත් හොඳ ආදර්ශයක් ද නොවේ. නොබෝ දිනකින් දරුවන් ඔබව අනුකරණය කරනු ඇත.

නිවාස අඩස්සියට පත් කිරීම


දරුවන් දෙමාපියන්ට දරා ගත නොහැකි තරම් වූ වරදක යෙදුණු විට බොහෝ විට දෙමාපියන් ලබා දෙන දඩුවම් ක්‍රමයකි මේ. නමුත් එයින් දරුවා ට වන ඍණාත්මක බලපෑම වැඩිය. දරුවා කල වරද ගැන පසු තැවීම සිදුවීමක් මෙයින් අපේක්ෂා කල නොහැකි අතර දරුවා හිතුවක්කාරී ස්වභාවයක් ගැනීමටත් දෙමාපියන්ගෙන් දුරස් වීමටත් වඩා ඉඩ සලසයි.

දරුවා පහතට දමා කතා කිරීම


"ඔයා හරි නරක ලමයෙක්"
"ඇයි ඔයාට බැරි අනිත් අය වගේ වෙන්න"
"ඔයාට තමා බැරි"

ආදි ලෙස කියමින් දරුවන්ව පහතට දමා හෙලා දකිමින් කථා කිරීමතා එක්තරා ලෙසකට දඩුවමක් ලෙස දැක්විය හැකියි. මින් දරුවා පසුගාමී තත්ත්වයට පත් විය හැකි අතර සෑම විටම තමා ගැන අවතක්සේරුවෙන් සිතීම ඔස්සේ ආත්මවිශ්වාසය ගිලිහී යනු ඇත.


දරුවන්ට අනිසි දඩුවම් ලබා දීමෙන් අත්විය හැකි විපාක.

* දරුවා ලැජ්ජාවට පත් වේ.
* අනාරක්ෂිත හැඟීමක් ඇති කරයි.
* ආත්ම විශ්වාසය ගිලිහේ.
* දෙමාපියන්ට වෛර කිරීමට නැඹුරු වෙයි.
* දෙමාපියන් වෙතින් දුරස් වීමට තැත් කරයි.
* එකට එක කිරීමට/පලිගැනීමට යොමු වේ.
* ස්වයං හානි කර ගැනීමට/සියදිවි නසාගැනීමට උත්සාහ කරයි.
* අධික ක්‍රෝධකාරී/කිපෙන සුළු වේ.
* ගැටුම්කාරී/කළහකාරී වේ.
* සමාජයට වෛර කරයි.
* සමාජයෙන් ඉවත්ව සිටී.
* අනවශ්‍ය සම්බන්ධතා ඇති කර ගැනීමට උත්සාහ කරයි.
* වැරදි ඇබ්බැහි වීම් වලට යොමු වේ.

ඇතැම් දරුවන් දිගින්  දිගටම වැරදි කිරීමට හෝ හික්මීමකින් තොරව හැසිරීමට ඔබ නොසිතන ආකාරයේ හේතු තිබිය හැක. එබැවින් දරුවන් පාලනයකින් තොර වූ විට හෝ අසාමාන්‍ය හැසිරීමක් දිගින් දිගටම පෙන්වන විට ඔබ මේ ගැනත් විමසිලිමත් වීම සුදුසුයි.



* අවදානය නොලැබීම
දරුවන් දෙමාපිය අවදානය බොහෝ සේ බලාපොරොත්තු වේ. එසේ නොවුණ විටදී දරුවන් අවදානය දිනා ගැනීම සඳහා යම් නොමනා හැසිරීම් දක්වයි. එවැනි හැසිරීමකට දෙමාපියන් කෝප කරවීමෙන් හෝ අවදානය ලැබීම දරුවා බලාපොරොත්තු විය හැක.

* පොරොන්දු ඉටුනොකිරීම
කුඩා වුවත් දරුවන් තමන්ට ලැබෙන පොරොන්දු ගැන දැඩි විශ්වාසයක් ඇති කර ගනී. එවැනි පොරොන්දු ඉටු නොවුන විටදී ඔවුන් නොහික්මුණු හැසිරීම් දක්වමින් තම සිතැඟි පිට කිරීමට යොමුවිය හැකියි.

* දෙමාපියන්ගේ වැරදි ආදර්ශ

අවවාදයට වඩා ආදර්ශය උතුම් කියලා කියනවානේ. දෙමාපියන් යම් වරදක් කරන අතර එම වරද දරුවන්ට නොකරන ලෙස කීමෙන් හෝ දරුවාගේ වරද නිවැරදි කිරීමට උත්සාහ කිරීමෙන් කිසිදු ඵලක් නොවනු ඇත. දෙමාපියන් වරදෙන් තොර වී ආදර්ශමත් වීමයි කල යුත්තේ.

අපෙන් දරුවන්ට....


* දරුවන් කෙරෙහි නිරන්තර අවදානය
* දරුවන් සමඟ මනා සබඳතාවය
* දරුවා වෙනුවෙන්ම වෙන්කල කාලයක් ඔහු සමඟ ගත කිරීම
* නම්‍යශීලි නමුත් ස්ථිරසාර ප්‍රතිපත්ති අනුගමනය
* දරුවන්ට මිතුරෙකු/මිතුරියක වීම
* දරුවාට හොඳ ඇහුම්කන් දෙන්නෙකු වීම
* නිතර ඍණාත්මක නොවීම
* නරක දේ නරක මෙන්ම හොඳ දෙයහි හොඳද දැකීම
* දරුවන් කිසිවිටෙකත් අනෙක් අයත් සමඟ සංසන්දනය නොකිරීම
* දෙමාපිය දෙපල අතර ආදරණීය සබඳතාවය


දරුවන් යහපත් ලෙස හික්මවීමට....

1. දරුවා මද වේලාවක් තනිකර තැබීම (හුදකලා කිරීම)
මෙය ඉතා සුලු වේලාවක් පමණක් ක්‍රියාත්මක කල යුතු අතර දරුවා ගැටලුකාරී තත්වයෙන් මුදවා ගැනීම ප්‍රධාන අරමුණ වේ. යම් නිශ්චිත වේලාවක් දරුවාටද පවසා, ඔහුටද දැකිය හැකි පරිදි ඔරලෝසුවක් උපයෝගී කර ගත හැකි නම් වඩාත් සුදුසු බවයි විද්වත් මතය වන්නේ. නියමිත කාලය අවසානයේදී දරුවා සමඟ සිදුවීම පිලිබඳ කතාබහ කිරීම කල යුතුයි. 




2. ප්‍රිය යමකින් තාවකාලිකව වෙන් කිරීම
උදා. 
• රූපවාහිනී නරඹන වේලාව
• මිතුරු හමුවක්/ සෙල්ලම් කාලයක්
• සෙල්ලම් උපකරණයක්



3. වරද යථා තත්වයට පත් කරවීම
දරුවා සමඟ දෙමාපියන්ටත් එක්ව මෙය සිදු කිරීම වඩා සාර්ථක වන අතර ඒ අතරතුර සිදු වූ දෙය ගැන සාකච්ඡා කිරීම කල යුතුයි.

• බිඳින ලද භාණ්ඩය නැවත සකස් කිරීම
• අපිරිසිදු කරන ලද බිත්තිය පිරිසිදු කිරීම
• රණ්ඩු වූ සහෝදරයා වැලඳගෙන නැවත මිතුරු වීම




4. කල වරද නැවත නොකරන බවට ලිවීම/ චිත්‍රයට නැඟීම
තමා වරදක් කල බව දරුවාට ඒත්තු ගැන්වීමත්, ඒ ගැන කණගාටුවක් දරුවා විසින්ම ඇති කර ගැනීමටත් මෙය හේතු වේ.



මේ සියල්ලෙහිම ප්‍රධාන අරමුණ වන්නේ දරුවාට එම වරද කෙරෙහි පසුතැවිල්ලක් ඇති කරවීමත්, දරුවා නැවත වරක් එය කිරීමට පෙර දෙවරක් සිතීමට මඟ පෑදීමත්ය. එබැවින් මෙමඟින් දීර්ඝ කාලීනව ඉතා සාර්ථක හා යහපත් ප්‍රතිඵල ඇති කරන බවයි  විද්වතුන් පවසන්නේ. 

© kalSwijesooriya @ KC & Baby K

Comments

Popular posts from this blog

පැනයට පිළිතුරු 01 (Problem_Solving)

බබා ට කිරි වැඩිපුර..... More breast milk to ur infant

බුද්ධිමත් දරුවෙක් නිර්මාණය කරමු - Make Ur baby Intelligent