බබාට අගුණ ආහාර - Foods to avoid in baby's day to day diet


                බබාට දෙන්න ගුණ කෑම, හොඳ කෑම, බර වැඩි වෙන කෑම, රස කෑම ආදී එකී මෙකී නොකී සියලුම සුදුසු කෑම ජාති ගැන අපි කතා කරනවානේ. නමුත් දරුවන්ට නොසුදුසු ආහාර ගැන අපි කතා කරන්නේ හරිම අඩුවෙන්. ඒ නිසාම අපි ඒ ගැන ප්රමාණවත් තරම් දැනුවත් නොවෙන්න පුළුවන්.

දවස තිස්සේ එහෙ මෙහෙ බඩ ගාන, දණ ගාන, වැටි වැටී ඇවිදින, එහෙම නැත්නම් දුවන පනින අපේ පොඩ්ඩන් ගේ අඛන්ඩ වර්ධනය සඳහා ඉතා ඉහල පෝෂණයක් අතයාවශ්‍යයි.


ඒත් ඇතැම් විට දරුවන්ට ලබා දෙන ආහාර කිසිදු පෝෂණ ගුණයකින් තොර හෝ පෝෂණ ගුණ හානි වූ ආහාරයි (Junk food). මේ දේවල් වලින් පොඩ්ඩක් වැටුනත් බබාගේ චූටි බංඩිය නම් හරි ඉක්මනින් පිරෙනවා. ඊට පස්සේ අපි අමාරුවෙන් කැප වෙලා රසට ගුණට හදන කෑම එක කන්න බංඩියේ ඉඩක් නෑ. ඉතින් අම්මලා කියනවා බබා කන්නේ නෑ කියලා. පස්සේ බබාගේ බර අඩු වෙනවා. බබාට පෝෂණ ඌනතා එනවා. අන්තිමට බබාගේ වර්ධනය අඩාල වෙනවා. ඔන්න ඔහොම ප්‍රශ්න ගොඩකට මූහුණපාන්න ඉස්සර අපි දරුවන්ට නොදිය යුතු ආහාර මොනවාද කියලා දැනගමු.


එසේ නම් අද ලිපියෙන් ගෙන එන්නේ චූටි බංඩි ගෙඩියට දාන්න සුදුසු නැති ආහාර වර්ග ගැන...

01. මී පැණි
02. පළතුරු යුෂ හා පළතුරු බීම
03. නොපිසූ/අර්ධ ලෙස පිසූ බිත්තර
04. පෙර සකසන ලද ආහාර (Processed Food)
05. ජෙලි හා ජෙලටීන් සහිත ආහාර
06. ඇතැම් මාලු වර්ග - මෝර, තලපත් ආදි
07. සොසේජස්/ මීට් බෝල්ස් ඇතුලු සියලු පෙර පිසින ලද මාංශමය ආහාර.
08. සෝඩා වර්ග (කාබනීකෘත පාන/පැණි බීම/ කෝලා වර්ග ආදි)
09. ෆ්රෙන්ච් ෆ්රයිස්
10. මේද අඩු/රහිත (law fat) හා කැලරි අඩු(law calorie) ආහාර
11. සීනි
12. ලුණු
13. සංතෘප්ත මේදය

01. මී පැණි

මී පැණි කිව් සැනින් අපට මතක් වෙන්නේ ඉතා ගුණදායී, ඖෂධීය ගුණයෙන්ද ඉහළ ස්වාභාවික ආහාරයක් ලෙසයි. නමුත් මී පැණි වල තිබිය හැකි බැක්ටීරියා ආකාරයක් නිසා කුඩා දරුවන්ට Botulism නම් දුර්ලභ රෝගී තත්ත්වය වැලදීමේ හැකියාව තිබෙනවා. මේ නිසායි කොතරම් ගුණ වුවත් මී පැණි ළදරුවන්ට ලභා දීම අනුමත නොකරන්නේ.

02. පළතුරු යුෂ හා පළතුරු බීම

පළතුරු යුෂ අප දන්නේ ශරීරයට වඩාත් ගුණදායී පාන වර්ගයක් ලෙසටයි. නමුත් ස්වාභාවික පළතුරු යුෂ බවට පත් කිරීමේ ක්‍රියාවේදී එහි අඩංගු වඩාත් වැදගත් අංගය වන කෙඳි ස්වභාවය නැතිවී යයි. අවසානයේදී ඉතුරු වන්නේ සීනි ආකාරය පමණි. එනම්, දරුවන්ට පළතුරු යුෂ බවට පත්කර දීමෙන් සිදුවන්නේ පෝෂණ ගුණ හානිවූ සීනිමය පානයක් ලබාදීමයි. එමනිසා දරුවන්ට ලබා දීමට වඩාත් සුදුසු වන්නේ පළතුරු එම ආකාරයෙන්ම ලබාදීමයි. ළදරුවන්ට පළතුරු යුෂ ලබාදීම වෛද්‍යවරුන් අනුමත නොකරන්නේ මේ නිසායි.

03. නොපිසූ/අර්ධ ලෙස පිසූ බිත්තර




දරුවන්ගේ පෝෂණ අවශ්‍යතාවයන් සපුරන්න අතයාවශ්‍යයෙන්ම ලබා දිය යුතු ආහාරයක් ලෙස සැලකෙන බිත්තර, දරුවන්ට ලබා දීමේදී ඉතා හොඳින් සම්පූර්ණයෙන් ඝන වන තුරු පිසීම අනිවාර්යයෙන්ම කල යුතුයි.


බොහෝ ආහාර ආසාත්මිකතා වලට හේතු වන සැල්මොනල්ලා නම් බැක්ටීරියාව බිත්තර වල වැඩි වශයෙන් අඩංගු විය හැකි අතර බිත්තර සම්පූර්ණයෙන් පිසීමේදී එය විනාශ වී යයි. එනම් නොපිසූ හෝ අර්ධ ලෙස පිසූ බිත්තර හෝ බිත්තර අඩංගු ආහාර දරුවන්ට ලබා දීමෙන් වැලකිය යුතුයි.

04. පෙර සකසන ලද ආහාර (Processed Food)


මේ සඳහා බොහෝ අර්ථකතන තිබුනද, යම් ආහාරයක් එහි පළමු ආකාරයෙන් කෙතරම් දුරට වෙනස් කර ඇත්ද සහ සකස්කිරීමෙදී කොතරම් අමතර ද්‍රව්‍ය අඩංගු කර ඇත්ද යන්න අනුව ආහාරයක පෙර සැකසීමේ ප්‍රමාණය නිර්ණය කල හැකියි.

සකස්කිරීමේ ප්‍රමාණය වැඩි වෙත්ම ආහාරයේ ගුණ හානි වේ. එමෙන්ම අමතර ද්‍රව්‍ය ලෙස සීනි, ලුණු, මේද එක් කිරීම නිසා ආහාරයේ සෞඛ්‍ය සම්පන්න බව තව දුරටත් අවම වේ.

මේ නිසායි දරුවන්ට වෙළඳපොලේ පවතින පෙර සකස්කල ආහාර ලබාදීම වෛද්‍යවරුන් අනුමත නොකරන්නේ.

05. ජෙලි හා ජෙලටීන් සහිත ආහාර


ජෙලි ප්‍රධාන ලෙස ආකාර දෙකකින් සකස්කරනු ලබනවා. එනම් ඒගාර් ඒගාර් නම් මුහුදු පැළෑටියෙන්ද අනෙක් ආකාරය සත්ව අස්ථි හා සමේ ඇති කොලැජන් මඟින්. මේ කිනම් ආකාරයෙන් නිපදවූවද අවසානයේ එය වර්ණවත් කිරීමට යොදන ආහාර වර්ණකත් රසවත් කිරීමට යොදන සීනි ඇතුලු රසකාරකත් නිසා එහි ගුණාත්මකභාවයට වඩා හානිදායක බව වැඩියි. මේ නිසා දරුවන්ට ජෙලිමය ආහාර ලබා නොදීමයි සුදුසු.




06. ඇතැම් මාලු වර්ග - මෝර, තලපත්


මර්කරි එහෙමත් නැත්නම් රසදිය ආදි බැර ලෝහ වර්ග මෙවැනි විශාල මාලු වර්ග වල අධික ලෙස තැම්පත්වීමේ ඉඩකඩක් පවතී.  මේ නිසා එවැනි මාලු දරුවන්ට ආහාරයට ලබා දීමෙන් දරුවන්ගේ වර්ධනය වෙමින් පවතින ස්නායු පද්ධතියට බලපෑම් ඇතිවිය හැක. එබැවින් මෝර, තලපත්, ආදි විශාල මාලු දරුවන්ට ලබා දීම අනුමත කරන්නේ නැහැ.


07. සොසේජස්/ මීට් බෝල්ස් ඇතුලු සියලු පෙර පිසින ලද මාංශමය ආහාර.


ලේසියට පහසුවට කෑම හදන්න පුරුදු වුණ බොහෝ ගෘහනියන්ගේ ජනප්‍රිය ආහාර වර්ගයක් තමා මේ සොසේජස් වැනි මාංශ වර්ග. එක පාරක් කෑවොත් පොඩ්ඩොත් ඉල්ල ඉල්ල කන්න පුරුදු වුනත් මෙවැනි ආහාර වලින් දරුවන්ට පෝෂණයට වඩා ලැබෙන්නේ ලෙඩ රෝගයි. මෙවැනි ආහාර සැකසීමට යොදා ගන්නේ ආහාරයට එක් කල නොහැකි අධික තෙල් සහිත මාංශ කොටස් වන අතර සැකසීම් ක්‍රියාවලියේදී  සෝඩියම් හා අනෙකුත් රසකාරක වර්ග බොහෝ සෙයින් යොදාගනී.


එබැවින් මාංශ ලබාදීමේ ආකාරයක් ලෙස මෙවැනි ආහාර කිසිවිටෙකත් දරුවන්ට ලබාදීමෙන් වැලකීමයි සුදුසු. නමුත් නිවසේදීම වඩා ගුණදායී ආකාරයෙන් දරුවන්ට සුදුසු ලෙස මෙය සකස්කර ගැනීමට හැකියි.


08. සෝඩා වර්ග (කාබනීකෘත පාන/පැණි බීම/ කෝලා වර්ග ආදි)


පාට පාට බීම වර්ග බොහෝමයක් අද වෙළඳපොලේ තිබෙනවා. සීනි ඇති, අඩු හා නැති ලෙස වර්ග ගණනාවකින් ද දැකිය හැකියි. දැක්කම බබාලාට උනත් ආසයි. නෑ ගමනක්, හිතවත් ගෙදරකට ගියාම වගේම අපේ ගෙදරට අමුත්තෙක් ආවමත් වර්තමානයේ බොහෝ විට ලබා දෙන පානයක් විදිහට මේ සෝඩා වර්ග හඳුන්වන්න පුලුවන්. නමුත් මේ සියල්ල අධික ලෙස කැලරි හා සීනි  පමණක් අඩංගු කිසිදු පෝෂණ ගුණයකින් තොර පාන වර්ගයි.

09. ෆ්රෙන්ච් ෆ්රයිස්


ලොකු පොඩි කවුරුත් කෑමට ප්‍රිය කරන ආහාරයක් තමා මේ. ක්ෂණික ආහාර ගණයට වැටෙන මෙය බොහෝ විට සකසනු ලබන්නේ අර්තාපල් වර්ග වලින් වුවද ක්ෂණික ලෙස සකසාගැනීමට වෙළඳපොලේ පවතින ෆ්රෙන්ච් ෆ්රයිස් වලට අධික ලෙස ලුණු හා වෙනත් රසකාරක එක් කිරීම නිසා එහි ගුණාත්මකභාවය බොහෝ සෙයින් අඩු වන අතර දරුවන්ට ලබා දීම නුසුදුසු ලෙස දැක්විය හැකියි.

නමුත් නිවසේදීම වඩා ගුණදායී ආකාරයෙන් දරුවන්ට සුදුසු ලෙස මෙය සකස්කර ගත හැකියි.

10. මේද අඩු/රහිත (law fat) හා කැලරි අඩු(law calorie) ආහාර



දරුවන් යනු ලෙඩුන් නොවේ. දවස පුරා ක්රියාශීලිව සිටින දරුවන්ට ශක්තිය බොහෝ සෙයින් අවශ්‍ය වේ. එබැවින්  අඩු මේද හෝ අඩු කැලරි ලෙස නම් කල ආහාර දරුවන්ට ලබාදීම කිසිසේත් සුදුසු වන්නේ නැහැ.

11. සීනි

මේ නම් අප කවුරුත් හොඳින් දන්නා දරුවන්ට නොදිය යුතුම ආහාර ආකාරයක්. අවුරුද්දට අඩු දවන්ගේ ආහාර වලට සීනි අඩංගු කිරීමෙන් වැලකීම පමණක් නොව අවුරුද්ද සම්පූර්ණ වූ පසුවද සීනි අවම ලෙස හා අතයාවශ්‍යම විටක පමණක් යොදාගැනීමට දරුවන් පුරුදු කිරීම වඩාත් සෞඛ්‍යාරක්ෂිත වේ. සීනි පරිභෝජනයේදී ද රසායනික ද්‍රව්‍ය වැඩිපුර අඩංගු සුදු සීනි වලට වඩා දුඹුරු සීනි පරිභෝජනය කිරීම සුදුසුයි.

12. ලුණු

ඉහත කිවූ බොහෝ ආහාර වර්ග දරුවන්ට ලබානොදිය යුතු වීමට ප්රධාන හේතුව වන ලුණු භාවිතය දරුවන් සඳහා අනුමත නොකරන්නේ කුඩා දරුවන්ගේ වැඩෙමින් පවතින වකුගඩු වලට අධික සෝඩියම් ප්‍රමාණයක් දරාගත නොහැකි නිසායි. එනම් එය දරුවන්ට වකුගඩු රෝග ඇතිවීමට එය හේතු වේ. එබැවින්  දරුවන්ට වසරක් වන තුරු පමණක් නොව ඉන් අනතුරුවද ලුණු භාවිතය අවම කිරීමයි සුදුසු. ආහාර සඳහා යොදාගන්නා ප්‍රමුඛ රසකාරකය වන ලුණු ආහාරය වලට අමතරව එක් නොකලද අප ගන්නා බොහෝ ආහාර වල ස්වභාවයෙන්ම යම් ප්‍රමාණයක් අඩංගු බැවින් ශරීර අවශ්‍යතාවය සැපිරීම සඳහා අමතරව ගත යුතු ලුණු ප්‍රමාණය ඉතා අඩුය. අවුරුද්දට අඩු දරුවන්ගේ නම් එය දිනකට 1g කි.

13. සංතෘප්ත මේදය

~ මේ සම්බන්ධයෙන් දැනුවත් වීමට මෙම ලිපිය කියවන්න.

© kalSwijesooriya @ KC & Baby K

Comments

Popular posts from this blog

පැනයට පිළිතුරු 01 (Problem_Solving)

බබා ට කිරි වැඩිපුර..... More breast milk to ur infant

බුද්ධිමත් දරුවෙක් නිර්මාණය කරමු - Make Ur baby Intelligent