පැටියා වැටිලා.... ඔලුව වැදුනොත්.... - one fell down and bump his head



 


      මාස 7-8 පහු වෙනකොට අම්මලා තාත්තලා බොහොම භියට හා කනස්සල්ලට පත් වෙන අවස්ථාවක් තමා බබා නිතරම වගේ වැටෙන එක. ඊටත් වඩා වැටිලා ඔලුව වදින එක.

මේ වයස දරුවන්ගේ දළ චලන නිපුණතා සංවර්ධනයේ -  Gross Motor Skill Development වැදගත් සංධිස්ථානයක් හමුවෙන කාලයක්. එනම් බබා ඇවිදීම නම් නිපුණතාවය ලඟා කර ගැනීමට අවශ්‍ය වන පෙර සාධක වන පෙරලීම, බඩගෑම, දණගෑම හා සිටගැනීම කියන නිපුණතා ලඟා කර ගන්නේ මේ කාලයට.


මේ විදිහට එහෙ මෙහෙ දණගාන, බඩගාන පැටියා මේ වයසෙදී බොහෝ විට වැටුනු හෝ හිස හැපුනු ගමන්මයි. නමුත්, මෙසේ හිස වැදෙන බොහෝ අවස්ථා සුලු වේදනාවක් පමණක් ඇති, හානි නොමැති සිදුවීම් වේ. එබැවින් දෙමාපියන් අනවශ්‍ය ලෙස කලබල නොවිය යුතුයි. එසේ නම් මේ වෙලාවේදී දෙමාපියන් ගත යුතු ක්‍රියාමාර්ග මොනවාද කියලා අපි බලමු.

බබා ගේ ඔලුව වැදුනම මොනවද කරන්නෙ?


1. කලබල වෙන්න එපා. දෙමාපියන් කලබල උනොත් බබා තවත් කලබල වෙනවා. ඒ නිසා හැකිතාක් සංසුන්ව ක්‍රියා කරන්න.

තාත්තා අම්මාට වත්, අම්මා තාත්තාට වත් බනින්න යන්න නම් එපා. එහෙම උනොත් බබාගේ හිසට පිටතින් වුන හානියට වඩා දහස් ගුණයක් වැඩි හානියක් බබාගේ හිස ඇතුලට එහෙමත් නැත්නම් මොලයට වෙන්න ඉඩ තියෙනවා. (දෙමාපියන් බහින් බස් වෙන එක දරුවන්ට දකින්න, ඇහෙන්න තබා දැනෙන්න වත් සුදුසු දෙයක් නොවන බව අවධාරණයෙන් මතක තබා ගන්න. ඒ ගැනත් පසු ලිපියකින් වැඩි විස්තර දැනගනිමු.)

2. බබා ට පහසුව සලසන්න. බබා ව සනසන්න.



මේකට කරන්න පුළුවන් පහසුම දේ තමා බබාව වඩා ගන්න, තුරුල් කර ගන්න එක. එයාගේ වේදනාව අඩු කරන්නත් ඒක හේතු වෙනවා. වැදුනු ස්ථානය හෙමින් පිරිමදින එක නම් නිතැතින්ම  සිද්ධ වෙන දෙයක් නේ.

3. ඔහු/ඇය හොඳින් බව බබාට ඒත්තු ගන්වන්න.


මේ වෙලාවේදී දැනෙන වේදනාවට අමතරව බබා බිය වීමක් ද වෙනවා. මේ නිසා බබාට කිසිදු හානියක් සිදුව නැති බවත්, ඔහු හොඳින් බවත් ඔහුට තහවුරු කරන්න.

4. බබාගේ අවදානය වෙනතකට යොමු කරන්න.


මේ සඳහා මව්කිරි ලබාදීම, සෙල්ලම් බඩුවක් අතට දීම, බබා වඩා කැමත්තක් දක්වන යමක් පෙන්වීම ආදි බබාගෙන් බබාට වෙනස් වූ විවිධාකාර උපක්‍රම යොදා ගන්න පුලුවන්.

5. හිසේ වැදුනු ස්ථානය හොඳින් පරීක්ෂා කරන්න.


වයසින් අඩු දරුවන්ගේ නම් තරමක් පහසුවෙන් පරීක්ෂා කල හැකි නමුත්, වයසින් වැඩි දරුවන් මේ සඳහා බොහෝ විට ඉඩ නොදිය හැකියි. එම නිසා පරීක්ෂා කිරීමට පෙර දරුවා සංසුන් වීම ඉතා වැදගත්. 

6. වැදුනු ස්ථානය මත අයිස් තබන්න.


අයිස්, බෑගයක් තුලට බහා එය දරුවාගේ හිස වැදුනු ස්ථානය මත විනාඩි 20ක් තැබීමයි වෛද්‍ය අනුමතය වන්නේ.

7. දරුවා පහත ලක්ෂණ සහිත නම් වහාම රෝහල් ගත කරන්න.

• වමනය කිරීම
• නින්ද යාම, සිහි නැති වීම, සිහි මද ගතිය හෝ එවැනි ලක්ෂණ
• කලබලකාරී, නොරිස්සුම් හෝ අලස, කම්මැලි ආදි දරුවාට නුපුරුදු හැසිරීම් සහිත වීම
• දරුවා නොනවත්වා හැඬීම හෝ කෑ ගැසීම
• වැදුනු ස්ථානයේ අසාමාන්‍ය ඉදිමුම්
• ගැඹුරු තුවාල
• නොනවත්වා රුධිර වහනය වීම්
• තෙල් වල ඉදිමීම
• කණ පිටුපස තැල්මක්
• හිස් කබලේ ඇති වූ මෘදු ස්ථාන
• අසාමාන්‍ය කලුතලා වූ ලකුණු
• ඇස් වල රුධිරය හෝ රුධිර සහිත ලකුණු
• ඇස්, කණ් හා මුඛයෙන් යම් අවර්ණ ශ්‍රාවයක්, ලා රතු පැහැති ශ්‍රාවකයක් හෝ  රුධිරය පිටතට ඒම
• ඇසේ කණීනිකාව විශාල වීම හෝ ප්රමාණයේ අසමානතා



වයසින් ලොකු දරුවෙක් නම්,

• කථා කිරීමේ අපහසුතා
• ඇස් පෙනීමේ වෙනස්කම් - බොඳ වීම, ද්විරූප පෙනුම
• ශරීර සමබරතාවයේ අපහසුකම්
• කණ ඇතුලෙන් "රිං" ශබ්දයක් ඇසීම
• ගද සුවඳ දැනීමේ අපහසුතා
• අවදානයේ හෝ මතකයේ දුර්වලතා
• අධික හිසරදය
• ඇසීමේ(ඉශ්‍රවණ) අපහසුතා



මේ ලක්ෂණ බබාට කම්පනයක් ඇති වීමේ පූර්ව ලක්ෂණ විය හැකි බැවින් වහාම රෝහල් ගත කිරීමයි සුදුසු. ඇතැම් ලක්ෂණ දින කිහිපයකට පසුව වුවද පෙන්නුම් කල හැකි නිසා දරුවා ගැන අවදානයෙන් පසු වීම ඉතා වැදගත්.

මෙවැනි අනතුරු වලක්වා ගැනීමට කල හැකි දේ පහත ලිපිය කියවා දැනුවත් වෙන්න.

Click here - බබාට විය හැකි අනතුරු වලකමු - Safeguarding the Babies

© kalSwijesooriya @ KC & Baby K

Comments

Popular posts from this blog

පැනයට පිළිතුරු 01 (Problem_Solving)

බබා ට කිරි වැඩිපුර..... More breast milk to ur infant

බුද්ධිමත් දරුවෙක් නිර්මාණය කරමු - Make Ur baby Intelligent